පෞද්ගලික බැංකු අඛණ්ඩව විවෘතව තබන්නැයි මහ බැංකුවෙන් උපදෙස්

මෙරට බලපත්‍රලාභී පෞද්ගලික බැංකු කිහිපයක් අද (07) දිනයේ සිට ලබන ඉරිදා (13දා) දක්වා තාවකාලිකව වසා දැමීමට ගෙන ඇති තීරණය ඉවත් කරන්නැයි මහ බැංකුව එම සියලුම බැංකු වෙත උපදෙස් ලබාදී ඇතැයි පවසයි.

අද පස්වරුවේදී නිවේදනයක් මගින් මහ බැංකුව මේ බව බලපත්‍රලාභී බැංකු වෙත දැනුම් දී තිබේ. විශේෂයෙන්ම බැංකු සේවා සැපයීම සම්බන්ධව ඊයේ දිනයේදී බලපත්‍රලාභී බැංකු විසින් නිකුත් කර ඇති නිවේදන සැලකිල්ලට ගනිමින් මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, තමන් ලබා දෙන උපදෙස්වලට අනුව බැංකු සේවා සැපයිය යුතු බවද මහ බැංකුව අවධාරණය කර තිබේ.

“කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ පොලිස්පතිගේ අනුමැතිය/එකඟතාව ලබා ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය අංශ විසින් නියම කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ හා විධිවිදාන තරයේ අනුගමනය කරමින් අත්‍යවශ්‍ය බැංකු සේවා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසට බලපත්‍රලාභී බැංකු වෙත මේ වනවිට උපදෙස් ලබා දී තිබේ.” යනුවෙන් මහ බැංකුව පවසයි.

මේ අතර පවතින අභියෝගකාරී තත්ත්වය හමුවේ බලපත්‍රලාභී බැංකු වෙත සහාය දැක්වීමක් ලෙස තම එදිනෙදා ගනුදෙනු හැකිතාක් දුරට ඔන්ලයින් සේවාවන්/ගෙවීම් ක්‍රම භාවිතයෙන් සිදු කරන මෙන්ද මහබැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේම අත්‍යවශ්‍ය බැංකු සේවාවන් සඳහා පමණක් බැංකු ශාඛාවන් අමතන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Visits: 201