යළිත් වටයකට කුකුලු මස් සමාගම් සඳහා වන උනන්දුව ඉහළට?

නව සතියක් ආරම්භ කරමින් අද (ජූනි 07) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි සිදු වූ ගනුදෙනු අතරදී කැපී පෙනෙන වාෂ්පශීලතාවක් දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

එහිදී විශේෂයෙන්ම ටයිල් අංශයේ සමාගම් තුළ ලාභ ඉපැයීමේ තත්ත්වයක් දැකගත හැකි වූ අතර, කුකුලු මස් සමාගම් කොටස් මිලදී ගැනීමේ උනන්දුවක් දැකගත හැකි වූ බවත් එම සමාගම් සඳහන් කරයි. යළිත් වටයකට රට තුළ මත්ස්‍ය නිෂ්පාදන සම්බන්ධව පවතින සැකය ඒ සඳහා හේතු වී තිබේ.    

ඒ අනුව අද දිනයේදී ඒකක 7,557.79ත් ඒකක 7,604.54ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,591.90ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (ජූනි 04) දිනයට සාපේක්ෂව ඒකක 24.52ක් එනම් +0.32%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව වටවල ප්ලාන්ටේෂන්ස් ගනුදෙනු දිනයේ සමස්ත පිරිවැටුමෙන් 1.3%ක් සඳහා දායකත්වයක් ලබා දී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 92ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 84ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+7.29), සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී CFIN (+6.22), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+5.23), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+4.43), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (+3.23), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-2.45), ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (-2.06), සම්පත් බැංකුව SAMP (-1.56), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-1.44), රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (-1.38) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,055.14ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (04දා) ‍ට සාපේක්ෂව ඒකක 8.67 ක එනම් +0.28%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.1ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (04දා) වාර්තා කළ රුපියල් බිලියන 3.16ට සාපේක්ෂව 33% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.35ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 13.21%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 21.64ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 108.4ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 86.76කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 25.82ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ආර්පිකෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 3.89 කි. එසේම කොමර්ෂල් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 16ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 536ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 27% ක අගයක් ගෙන තිබේ. එසේම විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් අංශය සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 384ක සහ රුපියල් මිලියන 305ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 321