අපනයන වෙළෙඳපොළ ගොඩනගා ගැනීමත් JAT ලැයිස්තුගතවීමේ අරමුණක්ලු

JAT හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම ඉදිරියේදී සැලසුම් කර ඇති කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වීමේ තීරණය, සිය සමාගම දැනට ක්‍රියාත්මක කර ඇති නිෂ්පාදන අංශයේ නව ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනය සහ සහ සිය අපනයන වෙළෙඳ පොළ ගොඩනඟාගැනීම ඉලක්ක කරගත්තක් බව එම සමාගම සඳහන් කරයි.

සමාගමේ විධායක අධ්‍යක්ෂවරයෙකු වන රිචඩ් ගුණවර්ධන මහතා මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික සඟරාවක් වන LMD සමගින් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පසුගියදා මෙම කරුණු අනාවරණය කර තිබේ. ඒ මහතා JAT හෝල්ඩිංග්ස්හි ක්‍රමෝපාය සැලසුම්කරණයේ ප්‍රධානියාද වෙයි.

 “2021/22 මූල්‍ය වර්ෂයේදී සමාගම මගින් ගන්නා වඩාත් වැදගත් ක්‍රමෝපායික පියවරක් වන්නේ මූලික කොටස් නිකුතුවක් හරහා සමාගමෙහි කොටස් මහජනතාව වෙත මිලදී ගැනීමට අවස්ථාව ලබා දීමේ තීරණයයි. ඒ අනුව සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන පුවරුවේ ලැයිස්තුගත වේවි. මේ හරහා අපේ ප්‍රධාන ඉලක්කය වෙන්නේ දැනට නිෂ්පාදන අංශය තුළ ක්‍රියාත්මක කෙරෙන නව ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය රැස් කරගැනීම සහ අපගේ අපනයන වෙළෙඳ පොළ ගොඩනගා ගැනීමයි.” ගුණවර්ධන මහතා පවසා තිබේ.

කොළඹ කොටස් හුවමාරුව එහි ලැයිස්තුගත වන ලෙස මෙරට පවුල් හිමිකාරීත්වය සහිත සමාගම් වෙත සිදු කළ ආරාධනාවට අනුව JAT හෝල්ඩිංග්ස් සමාගම මෙලෙස ඉදිරියේදී මූලික කොටස් නිකුතුවක් සඳහා සූදානමින් සිටියි. එය බොහෝ දුරට ලබන ජූනි මාසයේ අවසන් සතියේදී සිදු වෙනු ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ.

මේ අතර, JAT හෝල්ඩිංග්ස් විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කරන ආකාරයට සමාගම හා අනුබද්ධ JAT ප්‍රොපර්ටි සමූහය මගින් මේ වනවිටත් නිවාස ව්‍යාපෘති තුනක් සම්පූර්ණයෙන්ම නිම ඇත. එසේම සිව්වැනි ව්‍යාපෘතිය ලෙස මධ්‍යම පාන්තික ආදායම් ලබන්නන් ඉලක්ක කරගනිමින් නිවාස 102ක් සහිතව තලවතුගොඩදීද, පස්වැනි ව්‍යාපෘතිය මහනුවර, හන්තාන ප්‍රදේශය තුළද සැලසුම් කර ඇත. එම ව්‍යාපෘති ලබන ජූනි මාසයේදී දියත් කිරීමට එම සමූහය බලාපොරොත්තුව සිටියි.

මීට අමතරව, වර්තමානයේදී මෙරට සමාගම් මුහුණ දෙන අභියෝග මොනාවද යන්න පිළිබඳවද මෙම සාකච්ඡාවේදී රිචඩ් ගුණවර්ධන මහතාගෙන් විමසා ඇති අතර, ඊට පිළිතුරු දී ඇති ඒ මහතා COVID-19 වසංගත තත්ත්වය නිසා ඇතිව තිබෙන අස්ථාවරත්වය ප්‍රධානම තර්ජනය බව පෙන්වා දී තිබේ.

විශේෂයෙන්ම තෙවැනි වසංගත රැල්ල මේ වන විට දේශීය ආදායම් උත්පාදනය වෙත දැඩි ලෙස බලපෑම් එල්ල කර තිබෙන බවද ඔහු සඳහන් කර ඇත.

“සමාජ සහ ආර්ථික අස්ථාවරත්වය මගින් පාරිභෝගිකයන්ගේ වියදම් අඩු කරනවා. එය ව්‍යාපාර වෙත දිගු කාලීනව බලපෑම් ඇති කරන කාරණා. මෙහිදී අපගේ ප්‍රමුඛතම අපනයන වෙළෙඳ පොළ වන දකුණු ආසියාවේ බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය සහ මාලදිවයින යන රටවලදීත්, පසුගිය වසර මැදදී අප පිවිසුණු අප්‍රිකාව තුළදීත් මෙම COVID-19 තත්ත්වය නිසා ඇතිවුණු අලෙවියේ අඩුවීමක් මේ මොහොතේදී අප දකිනවා.” ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.

මීට අමතරව වර්තමානයේ දී මෙරට බොහෝ ක්ෂේත්‍ර සම්බන්ධව පනවා ඇති ආනයන තහනම් කිරීම් සහ ඩොලරයට සාපේක්ෂව රුපියලේ දැඩි අවප්‍රමාණය වීමත් සමාගම් මුහුණ දෙන තවත් ප්‍රධාන අභියෝගයන් බවද ඔහු සඳහන් කර තිබේ.

Visits: 325