ඇමති දයාසිරි සැකසූ බතික් වෙසක් කූඩුව අගමැතිට පිළිගන්වයි

බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍යංශය විසින් බතික් යොදා ගනිමින් සකසන ලද පළමු “බතික් වෙසක් කූඩුව” අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම පසුගියදා අරලියගහ මන්දිරයේ දී සිදු වී තිබේ.

බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් අග්‍රාමාත්‍යතුමාට මෙම බතික් වෙසක් කූඩුව පිළිගැන්වීම සිදු කර ඇත.

වෙසක් සැරසිලි නව්‍ය හා දේශීය මුහුණුවරකට හඳුන්වාදෙමින් ජාතික මෝස්තර මධ්‍යස්ථානය නිමවා ඇති මෙම නිර්මාණය රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයක් බව කියැවෙයි.

දේශීය අමුද්‍රව්‍ය හා සංස්කෘතික සම්ප්‍රදායන් ඉහළට ඔසවමින් බතික් මෝස්තර සඳහා නව ප්‍රවණතාවක් බිහි කිරීම උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව පැවසෙයි.

නිවෙස්වල සිට වෙසක් මංගල්‍යය සමරන බෞද්ධ බැතිමතුන් වෙනුවෙන් කළ මෙම නිර්මාණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක්විය.

මෙම අවස්ථාවට බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍යංශ ලේකම්තුමා සහ ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපතිතුමා ද එක්ව සිට ඇත.

Visits: 34