සීඅයිසී හෝල්ඩිංග්ස් පීඑල්සී රු 1.25 බැගින් ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සීඅයිසී හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිය ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව සමාගම මගින් මේ දක්වා නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහා මෙන්ම නිෂ් ඡන්ද කොටසක් සඳහාද රුපියල් 1.25 බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව සීඅයිසී හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙය 2020/21 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම ලෙසද සමාගම පවසා සිටියි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජූලි 22 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූලි 01 වැනිදා නම් කෙරී තිබේ.

සීඅයිසී හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසන ආකාරයට මෙම ලාභාංශ ගෙවීම සම්බන්ධයෙන් එම සමාගමේ කොටස්හිමිකරුවන්ගේ අනුමැතිය හිමි විය යුතුව ඇත.

ඒ අනුව එම අනුමැතිය සඳහා වන සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීම ලබන ජූනි 30 වැනිදා පැවැත්වීමටත් සමාගම කටයුතු යොදා තිබේ.

කොළඹ කොටස් හුවමාරුව තුළ අවසන්වරට ගනුදෙනු සිදු වූ සිකුරාදා දිනයේදී සීඅයිසී හෝල්ඩිංග්ස් පීඑල්සී ඡන්ද හිමි කොටසක වටිනාකම රුපියල් 36.50ක් ලෙස සටහන්ව තිබූ අතර එය ඊට පෙර දිනයේදී එම කොටසක වටිනාම වූ රුපියල් 37.70ට සාපේක්ෂව රුපියල් 1.20ක එනම් 3.18%ක පහළ වැටීමකි.

එසේම සිකුරාදා දිනයේදී සීඅයිසී හෝල්ඩිංග්ස් හි නිෂ්ඡන්ද කොටසක වටිනාකම රුපියල් 45ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊට පෙර දිනයේ වාර්තා කළ රුපියල් 45.40ට සාපේක්ෂව ශත 40ක එනම් -0.88%ක පහළ වැටීමකි.

Visits: 139