කොමර්ෂල් බැංකුවෙන් රුපියල් බිලියන 10ක ණයකර නිකුතුවක්

මෙරට මුල් පෙළේ පෞද්ගලික වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුව කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 10ක් වටිනා ණයකර කොටස් නිකුතුවක් සඳහා සූදානමින් සිටින බව පවසයි.

ඊයේ පැවැති එම බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ සඳහා වන යෝජනාව ඉදිරිපත්ව තිබෙන බව එහි ප්‍රධාන විධායක නිලධාරී එස්. රෙන්ගනාදන් මහතා කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව මේ යටතේ පළමුවෙන්ම ලැයිස්තුගත, නොසුරැකුණු, වර්ගකෙරුණු, ආපසුමුදවා ගත හැකි, අප්‍රධාන, බාසෙල් III අනුකූල ණයකර කොටස් මිලියන 50ක් (50,000,000ක්) නිකුත් කෙරෙන බව බැංකුව පවසයි.

මෙහිදී එක් ණයකරයක් රුපියල් 100ක් බැගින් මිල කෙරී ඇති අතර, එම ණයකර නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 5කි.

මෙම පළමු ණයකර නිකුතුව සඳහා හිමිවන අධිඉල්ලුමත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 50ක් එම මුදලටම නිකුත් කරන බවත් එහි වටිනාකමද රුපියල් බිලියන 5ක් වන බවත් බැංකුව සඳහන් කරයි.

මෙම ණයකර කොටස් නිකුතුව අවම වසර පහක සහ උපරිම වසර හතක භුක්තියක් යටතේ නිකුත් කෙරෙන්නක් වන බවත් පැවසෙයි.

කෙසේ වෙතත් මෙම ණයකර නිකුතුව සම්බන්ධයෙන් සියලුම නියාමන ආයතනවල අනුමැතිය අවශ්‍යව පවතින බවත්, ඊට අමතරව බැංකුවෙහි කොටස් හිමිකරුවන්ගේ මෙන්ම බැංකුවට සම්බන්ධ අනෙක් කොන්දේසිවලට අනුගත විය යුතුව ඇති බවත් කොමර්ෂල් බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 285