අත්‍යවශ්‍ය සේවා මහජන විමසීම් සඳහා “1965” කෙටි දුරකථන අංකය හඳුන්වා දෙයි

සංචරණ කාල සීමාව හා ඉන් ඉදිරියටත් රාජ්‍ය යාන්ත්‍රණය සමඟ සම්බන්ධවෙමින් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ මහජන විමසීම් සඳහාම පැය 24 පුරා ක්‍රියාත්මක “1965” කෙටි දුරකථන අංකය හඳුන්වාදීම සහ එම මධ්‍යස්ථානය විවෘත කිරීම තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වී තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයත්, බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකායත් එකතු කරමින් අරලියගහ මන්දිරය කේන්ද්‍ර කරගනිමින් මෙම 1965 කෙටි දුරකථන අංකය හඳුන්වා දී තිබේ.

මේ හරහා අත්‍යවශ්‍ය සේවා සම්බන්ධ ජනතා ගැටලු විසඳීම අපි අද ආරම්භ කරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසා තිබේ.  “ මේ දිනවල සහ ඉදිරි කාල සීමාවල ජනතාව මුහුණපාන ගැටලු විශේෂයෙන් සංචරණ සීමා කාල සීමාව තුළත් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සහ අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීමේ දීත් පැන නගින ගැටලු ඒ ඒ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම හා ජනතාවට වඩා කාර්යක්ෂමව එම කාර්යය ඉටු කරගැනීමට සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස 1965 දුරකථන මධ්‍යස්ථානය ක්‍රියාත්මක වෙනවා.“ යනුවෙන් පවසා ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා, “අපි මේ රටේ ජනතාවට ආරාධනා කරනවා ඔබට මේ කාල සීමාව තුළත් සංචරණ සීමා පැනවුණු කාල සීමාව තුළත් අත්‍යවශ්‍ය සේවා හා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ දීත් කොරෝනා ව්‍යවසනය නිසා තමන්ගෙ ජන ජීවිතය අඩාල වුණ අවස්ථා තිබෙනවා නම් හෝ රාජ්‍ය යාන්ත්‍රණය සමඟ සම්බන්ධීකරණ ගැටලු තිබෙනවා නම් ඒ වගේම ඒ කටයුතු කාර්යක්ෂම කරගන්න අවශ්‍යතාවක් තිබෙනවා නම් ඔබ 1965 දුරකථන අංකයට කතා කරන්න.” යනුවෙන්ද පවසා ඇත.

Visits: 26