හැරීගේ එයිට්කන් ස්පෙන්ස් රුපියල් 1 බැගින් ලාභාංශ ගෙවීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගම සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා රැස් වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව දැනට සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1 බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙය 2020/2021 මූල්‍ය වර්ෂය සඳහා සිදු කරන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම ලෙසද සඳහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජූලි 22 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූලි 01 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීම සම්බන්ධයෙන් අවසන් තීරණය සමාගමේ කොටස් හිමිකරුවන් වෙතින් ලබා ගත යුතුව තිබෙන බවත් ඒ සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන ජූනි 30 වැනිදා පැවැත්වෙන බවත් එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

අද දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 51.00ක් ලෙස සටහන් වූ අතර, එය ඊයේ සමාගමේ කොටසක වටිනාකම වූ රුපියල් 50.30ට සාපේක්ෂව ශත 70ක එනම් 1.39%ක වටිනාකම් ඉහළ යාමකි.

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාට අයත් එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගම පසුගිය වසරේ මැයි මාසයේදීද මෙලෙසම පළමු සහ අවසන් ලාභාංශ ගෙවීමක් සිදු කර ඇති අතර එහිදී කොටසක් සඳහා රුපියල් 1.25ක ගෙවීමක් සිදු කර තිබේ.

Visits: 194