‘ට්‍රැවල් බබ්ල්’ යටතේ රුසියානු සංචාරකයන්ට මෙරට සංචරණ අවස්ථාව

රුසියානු සංචාරකයන් සඳහා ට්‍රැවල් බබ්ල් සංකල්පය යටතේ මෙරටට සංචාරය කිරීමේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙකු වන උදයංග වීරතුංග මහතා පවසයි.

අද පළ වුණු ඩේලිනිවුස් පුවත්පත වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් වීරතුංග මහතා මේ බව පවසා තිබේ. ඒ අනුව මෙම ට්‍රැවල් බබ්ල් සංකල්පය යටතේ ඉදිරියේදී රුසියාව සහ කොළඹ අතර සංචරණ කොරිඩෝවක් විවෘත කිරීම සැලසුම බව ඔහු සඳහන් කරයි.

මීට පෙර ඒ මහතාගේ මැදිහත්වීමෙන් යුක්රේන ජාතික සංචාරකයන් 2,000කට ආසන්න පිරිසක් මෙරටට රැගෙන ඒමට හැකි විය.

“අපි දැනටමත් ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ රුසියාවේ අනෙකුත් ප්‍රධාන ගුවන් සමාගම් සමගින් සාර්ථක සාකච්ඡා පවත්වා තිබෙනවා යළිත් වරක් දෙරට අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරන්න. ශ්‍රීලංකන් ගුවන් සේවය සතිපතා ගුවන් ගමන් දෙකක් සිදු කිරීමට බලාපොරාත්තු වෙනවා. අපි මෙය ගිම්හාන ඍතුවේදී සිදු කිරීමට සැලසුම් කරත්, ලංකාවෙන් වාර්තා වූ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය නිසා එය ලබන ශීත ඍතුව දක්වා පසුපසට දමන්න සිදු වෙලා.” යනුවෙන්ද වීරතුංග මහතා මෙහිදී සඳහන්ක ර ඇත.

මෙහිදී එම ට්‍රැවල් බබ්ල් සංචරණ ක්‍රමවේදය ආකෘතිය පිළීබඳව පැහැදිලි කර ඇති ඒ මහතා, මෙවර නැගෙනහිර වෙරළ තීරය සඳහා මෙම සංචාරකයන් ගෙන්වා ගැනීම අරමුණ බවත්, එහිදී සංචරණ ප්‍රදේශය ලොක්ඩවුන් තත්ත්වයට පත් කර එය දැවැන්ත සංචරණ කලාපයක් බවට පත් කරන බවත් සඳහන් කර තිබේ.

“අපි ආරම්භය විදියට සතියකට වතාවක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමනක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මත්තල ගුවන් තොටුපොළේ සිට එය ක්‍රියාත්මක වේවි. එය නැගෙනහිර වෙරළට වඩාත් සමීපව පිහිටා තිබීම, අවම ජනගහනයක් ජීවත් වීම වගේම මේවනවිට එම ගුවන් තොටුපොළ මගින් ගුවන් යානා වෙත ලබා දී තිබෙන සහනත් ඊට හේතුවක් වෙනවා.” වීරතුංග මහතා වැඩිදුරටත් පවසා ඇත.

පුවත්පත සඳහන් කරන ආකාරයට අදවනවිට මෙම කලාපය තුළ වෙරළට මුහුණලා තරු පන්තියේ හෝටල් කාමර 400කට ආසන්න සංඛ්‍යාවක් පවතී. පැමිණෙන මෙම රුසියානු සංචාරකයන් එම ප්‍රදේශයේ තිබෙන සංස්කෘතික ස්ථාන වෙත මෙන්ම වනජීවී උද්‍යාන වෙතද රැගෙන යාමට සූදානමක් පවතී. එහිදී ඔවුන් ස්වදේශිකයන් සමගින් මිශ්‍ර නොවීමටද වගබලා ගන්නා බව පැවසෙයි.

“මීට කලින් මම සංචාරකයන් 1926 දෙනෙකු රටට ගෙන්නුවා. ඒ හරහා රට වෙත රුපියල් බිලියන 2ක පමණ ආදායමක් හිමි වුණා. ඔවුන් මෙරට තුළ රැඳී සිටි දින 10ක කාලය තුළදී සිදු කළ පීසීආර් පරීක්ෂණවලින් COVID-19 රෝගීන් විදියට හඳුනාගත්තේ 4 දෙනෙක් විතරයි. ඔවුන්ද හෝටල් තුළම නිරෝධායනය කරමින්,රජයේ රෝහල් තුළ ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව නැවතත් ඔවුන්ගේ රටවලට පිටත් කර හැරුණා.” වීරතුංග මහතා මෙහිදී පවසා ඇත.

එසේම මෙම සංචාරකයන් හරහා මෙරට වෙත බ්‍රිතාන්‍යයේ COVID-19 ප්‍රභේදය පැමිණි බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන  වීරතුංග මහතා, එම අවස්ථාව වනවිට මෙරට තුළ එම වෛරසය තිබූ බවට සාක්ෂි නොමැති බවත් පවසා තිබේ.

එසේම ඉදිරියේදී පැමිණෙන මෙම රුසියානු සංචාරකයන් සඳහාද යුක්රේන සංචාරකයන් හා ක්‍රියාත්මක වූ පූර්ව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යොදා ගන්නා බවත් වීරතුංග මහතා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

Visits: 195