සිලෝන් ටොබැකෝ වෙතින් කොටසකට රු. 19ක ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත අතරමැදි ලාභාංශ ගෙවීමක් සඳහා තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 19 බැගින් මෙම ලාභාංශ ගෙවීමට තීරණය වී ඇත.

මෙය 2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය වෙනුවෙන් සිදු කරන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බව සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සඳහන් කරයි.

ඒ අනුව මෙම ලාභාංශ ගෙවීමේ දිනය ලෙස ලබන ජූනි 10 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය ලෙස මැයි 28 වැනිදා නම් කෙරී ඇත.

සමාගම සඳහන් කරන ආකාරයට මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී හි කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නැත.

අවසන් වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වුණු පසුගිය සිකුරාදා දෛනික ගනුදෙනු නිමාවේදී සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සීහි කොටසක වටිනාකම රුපියල් 990ක් බවට පත්ව තිබුණි. එය ඊට පෙර දිනයේදී සමාගමේ කොටසක් සඳහා හිමි වූ රුපියල් 970 ට සාපේක්ෂව රුපියල් 20ක එනම් 2.06% ක වටිනාම් ඉහළ යාමකි.

මීට පෙර පසුගිය පෙබරවාරි මාසයේදීද සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමක් ප්‍රකාශ කළ අතර, එය 2020 දෙසැමිබර් 31 වැනිදායින් අවසන් වන මූල්‍යවර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ලෙස සටහන් විය.

එහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජූනි 10වැනිදා ප්‍රකාශය කෙරී ඇති අතර සෑම කොටසකටම රුපියල් 11.35ක් බැගින් ලාභාංශ ලබා දීමට නියමිතව තිබේ.

ඒ සඳහා කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇති අතර, ඊට අදාළ වාර්ෂික මහාසභා රැස්වීම ලබන මැයි 25 වැනිදා පැවැත්වෙන බවත් සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 177