ලාභාංශ නිවේදනය තලවකැලේ ටී එස්ටේට්ස්හි කොටස් වටිනාකම් 1.88% කින් ඉහළ දමයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත තලවකැලේ ටී එස්ටේට්ස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කිරීමත් සමගින්ම ඊයේ දිනයේදී එහි කොටසක වටිනාකම 1.88% කින් ඉහළ යාමක් දැකගත හැකි විය.

ඒ අනුව ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී තලවකැලේ ටී එස්ටේට්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 43.30 ක් ලෙස සටහන්ව තිබුණී. එය ඊට පෙර දිනය නිමාවේදී කොටසක් සඳහා වාර්තා වූ රුපියල් 42.50ක වටිනාකමට සාපේක්ෂව ශත 80 ක එනම් 1.88%ක ඉහළ යාමකි.

තලවකැලේ ටී එස්ටේට්ස් පීඑල්සී සමාගම මගින් ලබා ගෙන ඇති මෙම ලාභාංශ ගෙවීම පිළිබඳ තීරණය පසුගියදා 12වැනිදා නිවේදනය කෙරිණි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.50 බැගින් ලාභාංශ ගෙවීමට සමාගම තීරණය කර තිබේ.

මෙය 2020/21 මූල්‍ය වර්ෂය සඳහා වන අවසන් ලාභාංශ ගෙවීම බවද සමාගම සඳහන් කරයි.

ලබන ජූලි 13 වැනිදා මෙම ලාභාංශ ගෙවන දිනය ලෙස ප්‍රකාශ කෙරී ඇත. එසේම ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන ජූනි 28 වැනිදා නම් කෙරී තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවීම සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවීම අනිවාර්යය වී ඇති අතර, ඒ සඳහා වන වාර්ෂික මහා සභා රැස්වීම ලබන ජූනි 25 වැනිදා පැවැත්වෙන බවත් තලවකැලේ ටී එස්ටේට්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

Visits: 204