සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් වෙතින් රු.බිලියන 2ක හිමිකම් නිකුතුවක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 2ක් වටිනා හිමිකම් කොටස් නිකුතුවක් සිදු කිරීමට සැලසුම් කර තිබෙන බව පවසයි.

සමාගම සඳහන් කරන ආකාරයට මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙහි බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබූ ඉල්ලුම වෙත පසුගිය මැයි 7 වැනිදා අවසරය හිමිව තිබේ.

ඒ අනුව ඊයේ දිනයේ රැස් වුණු සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම නිකුතුවට අනුමැතිය ලබාදී ඇත.

මෙහිදී දැනට සමාගම මගින් නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් හයක් සඳහාම අලුතින් කොටස් පහක් හිමි වන ආකාරයෙන් මෙම හිමිකම් කොටස් නිකුතුව සිදු කිරීමට නියමිතව තිබේ.

සමාගමට පවසන ආකාරයට මෙම නිකුතුව යටතේ කොටස් 223,966,774ක් නිකුත් කෙරෙන අතර, කොටසක වටිනාකම රුපියල් 10ක් ලෙස සටහන්ව ඇත.

ඒ අනුව මෙම සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් 2,239,667,740ක් බවද සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම සඳහන් කරයි.

සිය සමාගම වෙත නැවුම් ප්‍රාග්ධනයක් සම්පාදනය කරගැනීමෙන්, සිය අදියර 1 ප්‍රාග්ධනය තවදුරටත් ශක්තිමත් කරගැනීම උදෙසා මෙම හිමිකම් නිකුතුව සිදු කරන බව සමාගම පවසයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව මගින් බැංකු නොවන මූල්‍ය සමාගම් වෙත 2022 ජූලි 01 වැනිදා වන විට සැපිරිය යුතු බවට ලබා දී ඇති මූලික ප්‍රාග්ධන අවශ්‍යතාව පූර්ණය කිරීම වෙනුවෙන් මෙම ප්‍රාග්ධනය සම්පාදනය කරගැනීම අදහස වී තිබේ.

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම සඳහන් කරන ආකාරයට අද වනවිට සමාගමෙහි ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් 4,506,759,983.12 කි.

මෙම නව ප්‍රාග්ධන සම්පාදනයත් සමගින්ම සමාගමේ සමස්ත ප්‍රාග්ධනය රුපියල් බිලියන 6.74ක් දක්වා ඉහළ යාමට නියමිතව තිබේ.

මේ අතර අදාළ හිමිකම් නිකුතුව කොළඹ කොටස් හුවමාරුවෙහි සියලුම නියමයන් අනුව සිදු වනු ඇති බවත්, මෙම නිකුතුව සහ එම කොටස් ලැයිස්තුගත කිරීම සඳහා ඉදිරියේදී පැවැත්වෙන මහා සභා රැස්වීමකදී කොටස් හිමිකරුවන්ගේ අවසරය ලබා ගන්නා බවත් එම සමාගම පවසයි.

මීට අමතරව අදාළ නිකුතුවේදී යම් කිසි ආකාරයකින් මිලදී ගැනීමක් සිදු නොවන හිමිකම් කොටස් සිල්ලම මිලදී ගැනීමට සමාගමේ මව් සමාගම වන සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී සමාගම සූදානමින් සිටින බවත් සමාගම පවසයි.

ඒ අනුව මෙහිදී අදාළ නිකුතුව සම්පූර්ණ ඉල්ලුමක් සහිත නිකුතුවක් බවට පත් වෙනු ඇති බවත් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 262