සෙලින්කෝ ලයිෆ් ජා-ඇලදී පරිසර හිතකාමී ශාඛාවක් ඉදිකිරීම අරඹයි

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය අඛණ්ඩව අවම කිරීම සඳහා සිදුකරන ආයෝජනයන් ඉදිරියට රැගෙන යමින් ජා-ඇල ප‍්‍රදේශයේ නව පරිසර හිතකාමී ශාඛාවක් ඉදිකිරීම වෙනුවෙන් පසුගියදා මුල්ගල තබන ලදී. මෙම නව ශාඛාව පාරිභෝගිකයින්ගේ සහ සමාගමේ සේවකයින්ගේ අත්දැකීම් ඉහළ නංවන ආකාරයේ පහසුකම් සහිතව ගොඩනගන බව සමාගම පවසයි.  

අංක 26, අධිවේගී ප‍්‍රවේශ මාර්ගය, ජා-ඇල ලිපිනයේ ඉදිකෙරෙන තට්ටු තුනකින් යුක්ත මෙම ගොඩනැගිල්ල සඳහා සම්පූර්ණයෙන්ම බලශක්තිය සූර්ය විදුලිබලයෙන් ලබාගනු ඇත. වර්ග අඩි 9,870 ක ඉඩ ප‍්‍රමාණයක් ලබා දෙන මෙම ගොඩනැගිල්ල සමාගමට අයත් ඉඩමක ඉදිකරන අතර මෙමගින් ජා-ඇල ප‍්‍රදේශයට සමාගම විසින් ලබාදෙන සේවාව තවදුරටත් පුළුල් වනබව සමාගම සඳහන් කරයි. 

මෙම ගොඩනැගිල්ල සඳහා සම්පූර්ණයෙන්ම සූර්ය විදුලි බලය ලබාගන්නා නිසා ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිය ලබාගැනීමක් සිදු නොකරනු ඇත. මෙම ගොඩනැගිල්ලේ වැසි ජලය රැස්කරන වෙනමම පහසුකමක් ගොඩනගන අතර වැසිකිලි වලට වතුර සහ ගෙවත්ත සඳහා ජලය ගැනීමට අපජලය පිරිපහදු කිරීමේ පහසුකමක්ද මෙම ගොඩනැගිල්ලේ ගොඩනගන බව සමාගම පවසයි.

මීට අමතරව, මෙම ගොඩනැගිල්ලට ස්වභාවික අලෝකය උපරිම වශයෙන් ලැබෙන ලෙස සැලසුම් කර තිබෙන අතර බලශක්ති කාර්යක්ෂමතාවයෙන් යුක්ත විදුලි බුබුළු සහ වායු සමීකරණ යන්ත‍්‍ර සවිකරන බව සමාගම සඳහන් කරයි. එසේම, මෙම ගොඩනැගිල්ල සඳහා ලී අවම වශයෙන් යොදාගැනීමට සමාගම සැලසුම් කර තිබේ. 

පාරිභෝගිකයින් සහ සේවකයින්ගේ පහසුව සඳහා මෙම නව ගොඩනැගිල්ලේ විදුලි සෝපානයක් සවිකරන අතර වාහන 15 කට වැඩි ප‍්‍රමාණයක් ගාල්කර තැබිය හැකි වාහන අංගනයක්ද සමාගම විසින් ගොඩනගනු ඇත. මීට අමතරව, මෙම ගොඩනැගිල්ලේ වැඩි ඉඩකඩක් තිබෙන පාරිභෝගිකයින්ට වාඩිවී සිටිය හැකි ස්ථානයක් තිබෙන අතර අමුත්තන් මෙන්ම කාර්ය මණ්ඩලය වෙනුවෙන් බොහෝ පහසුකම් සහිතව ගොඩනැගිල්ල නිර්මාණය කරනු ඇත. මෙම ගොඩනැගිල්ල ජා-ඇල ප‍්‍රදේශයේ පිහිටි සෙලින්කෝ ලයිෆ් ශාඛා කීපයකට කාර්යාලයක් ලෙස ක‍්‍රියාත්මක වනු ඇති අතර දිවුලපිටිය, කඩවත, ගම්පහ සහ මීගමුව සෙලින්කෝ ලයිෆ් ශාඛා ගොඩනැගීමෙන් පසුව ගම්පහ දිස්ත‍්‍රික්කයේ සමාගමට අයත් ඉඩමක ඉදිකරන පස්වන සෙලින්කෝ ලයිෆ් ගොඩනැගිල්ල මෙය වේ. එසේම, ඉදිරියේදී මෙය තවදුරටත් පුළුල් කිරීමට හැකිවන ලෙස සැලසුම් කර තිබේ.   

සෙලින්කෝ ලයිෆ් විසින් සිය පිළියන්දල ශාඛාව සඳහා තවත් හරිත ශාඛාවක් ඉදිකිරීම සිදු කරමින් සිටී. සමාගම විසින් මේ වනවිට අනුරාධපුරය, ත‍්‍රිකුණාමලය, යාපනය, මඩකළපුව, මහනුවර, කළුතර, කුරුණෑගල, ගම්පහ, මාතර, ගාල්ල, තිස්සමහාරාමය, මීගමුව, රත්නපුරය, කොටහේන, ගල්කිස්ස සහ වැල්ලවත්ත යන ස්ථානවල සමාගමට අයත් ශාඛා ගොඩනැගිලි පිහිටුවා තිබෙන අතර මින් බොහෝමයක් සඳහා මේ වනවිට විදුලිය ලබාගන්නේ සූර්ය බලශක්තිය මගිනි.

එසේම, නව පරිසර හිතකාමී ආකෘතියට අනුව සමාගම විසින් තමන්ටම අයත් ඉඩම්වල හොරණ, පානදුර, වෙන්නප්පුව, බණ්ඩාරවෙල, හලාවත, කඩවත, යාපනය, මාලඹේ, දිවුලපිටිය සහ මීගමුව ශාඛා ගොඩනැගිලි ඉදිකර ඇත.

Visits: 30