කොමර්ෂල් බැංකුවට බිස්නස් ටැබ්ලොයිඞ් සඟරාවෙන් සම්මාන තුනක්

එංගලන්තයේ ප‍්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන ‘බිස්නස් ටැබ්ලොයිඞ්’ සඟරාව වෙතින් කොමර්ෂල් බැංකුව පසුගියදා ‘2021 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම පුද්ගලික අංශයේ බැංකුව’, ‘බැංකුකරණ අංශයේ හොඳම ඩිජිටල් පරිවර්තනය’ සහ ‘හොඳම ජංගම දුරකතන බැංකු සේවාව’ යන ගෞරවණීය සම්මාන ත‍්‍රිත්වය දිනාගන්නා ලද බව පවසයි.

මෙහිදී, බැංකු ක්ෂේත‍්‍රයෙන් සම්මාන තුනක් දිනාගත් එකම බැංකුව කොමර්ෂල් බැංකුව වූ අතර පිලිපීනයේ ඩොයිෂ් බැංකුව, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ එමිරේට්ස් ඉස්ලමික් බෑන්ක්, මැලේසියාවේ MBSB බෑන්ක් සහ කුවේටයේ ගල්ෆ් බෑන්ක් යන බැංකු කොමර්ෂල් බැංකුව සමග සම්මානයට පාත‍්‍රවිය.

මෙය කොමර්ෂල් බැංකුව ‘බිස්නස් ටැබ්ලොයිඞ්’ සඟරාව වෙතින් සම්මාන දිනාගත් තුන්වන අවස්ථාව වේ. මේ අනුව, 2020 වසරේදී ‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම නව්‍ය බැංකුකරණ සේවාව’ ලෙසින්ද 2019 වසරේදී ‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම නව්‍ය වාණිජ බැංකුව’ ලෙසින්ද කොමර්ෂල් බැංකුව මෙම සඟරාව වෙතින් සම්මාන දිනාගන්නා ලදී.

කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව සහ ලංකාවේ තෙවැනියට විශාලතම බැංකුව වේ. කොමර්ෂල් බැංකු සමූහය 2020 වසර අවසානයේදී රුපියල් ටි‍්‍රලියන 1.762 ක සමස්ත වත්කමක්, රුපියල් බිලියන 151.966 ක දළ ආදායමක්, රුපියල් බිලියන 24.52 ක බදු වලට පෙර ලාභයක්, රුපියල් බිලියන 17.087 ක ශුද්ධ ලාභයක්, රුපියල් බිලියන 961.859 ක ණය පොතක් සහ රුපියල් ටි‍්‍රලියන 1.287 ක තැන්පතු වාර්තා කර ඇත. 

‘බිස්නස් ටැබ්ලොයිඞ්’ සම්මාන ප‍්‍රදානය ස්ථානය, ප‍්‍රමාණය සහ හිමිකාරීත්වය යන කරුණු සලකා බැලීමකින් තොරව ලෝකය පුරා විසිරී සිටින සියළුම සමාගම් සඳහා විවෘත වේ. මෙහිදී, මෙම සමාගම් තමන්ගේ කර්මාන්තයේ තිබෙන දක්ෂතාවය සහ විශේෂඥතාවය පමණක් සැලකිල්ලට ගනිමින් සම්මානයට පාත‍්‍ර කරයි. මෙම සම්මාන සඳහා ඉදිරිපත් කරන නාම යෝජනා නවෝත්පාදනය, ජයග‍්‍රහණ සහ දායකත්වය යන ක‍්‍රමවේදයන්ට අනුව ඇගයීමට ලක්කරන අතර ඇගයීමේ කමිටුව සඳහා ප‍්‍රකාශකයා, සමීක්ෂණ කණ්ඩායම සහ ප‍්‍රධාන කර්තෘගේ නායකත්වයෙන් යුතු කර්තෘ මණ්ඩලය ඇතුළත් වේ.

කාබන් උදාසීන තත්ත්වයට පත්වූ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම දස වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 932 ක් ක‍්‍රියාත්මක කරයි.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

Visits: 42