ජාතික ශිල්ප සභාවට නව සභාපතිවරයෙක්

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ශිල්ප සභාවේ නව සභාපතිවරයා ලෙස සම්පත් ඇරැහැපොල මහතා පත් කර ඇතැයි එම සභාව නිවේදනය කරයි.

මෙතෙක් එම ධුරයේ කටයුතු කළ සුදත් අබේසේකර මහතාගේ ඉවත් වීමෙන් හිස් වූ ධුරය සඳහා ඇරැහැපොල මහතා මෙලෙස පත්වී තිබේ. එම රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අතින් ඒ මහතා පසුගියදා සිය පත්වීමේ ලිපිය ලබා ගෙන තිබේ.

ව්‍යාපාර පරිපාලනය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිධාරියෙකු වන ඇරැහැපොල මහතා පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාවන් කිහිපයකද නිරත වූ අයෙකු බව ජාතික ශිල්ප සභාව පවසයි.

ඒ මහතා ජාතික ශිල්ප සභාවට තේරී පත් වූ 11 වැනි සභාපතිවරයාද වෙයි.

පසුගිය වසර දහයකට ආසන්න කාලයක් තුල විදෙස් සමාගම් කිහිපයක විධායක නිලධාරියෙකු වශයෙන් රාජකාරි සිදු කරමින් ජාත්‍යන්තර වෙළෙඳපොළ පිළිබඳව විශේෂ ප්‍රාගුණ්‍යයක් සහිත ඇත්දැකීම් සම්භාරයකින් සමන්විත පුද්ගලයෙකු බවද සඳහන් වෙයි.

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා සංගමයේ හිටපු සභාපති වන ඔහු , වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය සමඟද ක්‍රියාකාරීව වැඩ කටයුතු කර ඇත. තවද ජාත්‍යන්තර සමාජ සේවා ආයතන කිහිපයක නිල තනතුරු හොබවන ඔහු සමාජ සේවකයෙකු මෙන්ම වෘත්තීය වශයෙන් ඉතා ප්‍රවීණ කාර්යක්ෂම සහ ක්‍රියාශීලී අයෙකුද වන බව ශිල්ප සභාව සඳහන් කරයි.

Visits: 41