හම්බන්තොට වරාය මෙතෙක් සිය උපරිම රථ වාහන ඒකක ප්‍රමාණය (RORO) මෙහෙයවයි

හම්බන්තොට ජාත්‍යන්තර වරාය ‘මසක් තුළ මෙහෙය වූ උපරිම රථ වාහන ඒකක (RORO (Roll on Roll off) Units) ප්‍රමාණය’ මෙහෙයවීමට සමත් ව ඇතැයි පවසයි.

ඒ අනුව අපේ‍්‍රල් මාසය තුළදී වරාය මගින් සිදුකළ ඉහළම පරිමාව සනිටුහන් කරමින් වාහන ඒකක මෙහෙයුම් 63,099 ක් සම්පූර්ණ කර තිබේ.

එක් නෞකාවක් මගින් රැගෙන එන රථ වාහන වරායේ ගොඩබස්වා අනතුරුව තවත් නෞකා වෙත ගොඩනංවමින් සිදු කරන ප්‍රතිනැව්ගත කිරීමේ කටයුත්ත හරහා මෙම වාහන ඒකක ප්‍රමාණය හැසිරවීමට වරාය සමත්ව ඇත.

මෙම RORO යනු මෝටර් රථ, ට්‍රක් රථ ඇතුළු වාහන ගොඩබෑම සහ යළි පැටවීමයි. මෙහිදී දොඹකර ආකාරයෙන් නොව එම රථ පදවාගෙන ඒම සහ යෑම හරහා අදාළ කටයුතු සිදු කරයි.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය මගින් ප්‍රතිනැව්ගත කිරීම් සඳහා මෙන්ම මෙරට වාහන ආනයනය සඳහාද මෙම RORO පහසුකම් සලසයි.

ඒ අතරින් ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස හම්බන්තොට වරාය RORO පහසුකම් සඳහා ක්‍රියාත්මක වූ දිනයේ සිට 2018 වසරේදී සිය ධාරිතාව දෙගුණයකින් ඉහළ නංවා ගැනීමට සමත්ව ඇත. එසේම එම තත්ත්වය 2019 සහ 2020 වසරවලදීද ශක්තිමත්ව වර්ධනය කරගැනීමට සමත්ව තිබේ.

එහිදී වඩාත් ඉහළ කාර්යක්ෂමතාවකින්, පරිසර හිතකාමී ලෙස, සුරක්ෂිත සහ ගනුදෙනුකරුවන් වෙත වඩාත් හොඳ සේවාවක් ලබා දෙමින් එම කටයුතු සිදු කෙරී ඇත.

මෙහිදී හම්බන්තොට ජාත්‍යන්තර වරාය මගින් අදාළ කටයුතු සඳහා අවශ්‍ය උපාංග සහ යන්ත්‍ර සූත්‍ර වෙනුවෙන් ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් ලක්ෂ හයක් පමණ ආයෝජනය කර ඇතැයිද පවසයි.

Visits: 661