නිෂ්පාදන අංශයේ සමාගම් වෙත පැවැති ආකර්ෂණය එලෙසින්ම

අද (මැයි 06) කොළඹ කොටස් හුවමාරුව තුළ කොටස් මිලදී ගැනීමේ වැඩි උනන්දුවක් දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම කොමර්ෂල් බැංකුව සහ ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී තුළ පෙන්නුම් කළ විදේශ ආයෝජන පිටතට ගලායෑම් දර්ශක අගයන් ඉහළට එසවීමට හේතුවක්වී තිබේ.

එසේම නිෂ්පාදන අංශයේ සමාගම් තවදුරටත් ආයෝජකයන්ගේ ඉහළ කැමැත්ත යොමුවූ සමාගම් බවට පත්විය. කෙසේ වෙතත් COVID-19 ආසාදිතයන් ඉහළ යාම සහ මරණ ඉහළ යාම ආයෝජක ආකර්ෂණය වෙත බලපෑම් එල්ල කර තිබේ.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,153.11ත් ඒකක 7,231.29ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,188.09ක් බවට පත්විය. එය ඊයේ (මැයි 05දා) දිනයට සාපේක්ෂව ඒකක 42.12 ක් එනම් 0.59%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව සිදු කළ සම්පත් බැංකු ගනුදෙනුව පිරිවැටුමෙන් 2.0%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 111ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 51ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී BIL (+6.52), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+4.17), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+3.57), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+3.19), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (+2.56), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-2.99), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.86), කොමර්ෂල් බැංකුව COMB (-1.02), ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී ASHO (-0.57), පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී PLC (-0.39) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,838.96ක අගයක් ගත් අතර, එය ඊයේ (05දා) ‍ට සාපේක්ෂව ඒකක 6.29 ක එනම් +0.22%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1.25ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (මැයි 05) වාර්තා කළ රුපියල් මිලියන 890ට සාපේක්ෂව 40% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.17ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 7.08%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 55.63ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 110.34ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 54.71කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 22.60ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සම්පත් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 12.57 කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 47.55ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 388ක් සඳහා ආහාර, පාන වර්ග හා දුම්කොළ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 31% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 326ක සහ රුපියල් මිලියන 135ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 450