“වසරේ මුල්මාස 3ක බදු ඉලක්කයෙන් 98%ක් සාර්ථකයි” – IRD

නව බදු සංශෝධනය සමඟ මුදල් අමාත්‍යාංශය මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) වෙත මෙම වසරේ පළමු මාස තුන සඳහා ලබාදුන් බදු ආදායම් ඉලක්කය වන රුපියල් මි. 575.5කින් 98% ක් මේ වන විට සපුරා ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා‍ගේ සභාපතීත්වයෙන් පැවති රජයේ මුදල් පිළිබඳව කාරක සභාවේදී මේ පිළිබඳව අනාවරණය කෙරී ඇත.

විශේෂයෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෝලීය කොවිඩ් අර්බුදය හමුවේ සිය ඉලක්ක සම්පූර්ණ කිරීම අගය කරන බවද රජයේ මුදල් පිළිබඳව කාරක සභාව එහිදී පවසා තිබේ. එසේම මෙරට බදු ගෙවන්නන් සංඛ්‍යාත්මක වැඩි කරගතයුතු බවද මෙහිදී අවධාරණය කෙරී ඇත.

2018 අංක 24 දරන දේශීය ආදායම් බදු පනත සඳහා හඳුන්වා දෙන ලද සං‍ශෝධන රැසක් රජයේ මුදල් පිළිබඳව කාරක සභාවේදී සාකච්ඡාවට ගත් අවස්ථාවේදී මේ පිළිබඳව අවධානයට ගෙන තිබේ.

වසර 05 ක් සඳහා හඳුන්වා දුන් එම නව බදු සංශෝධන අනුව බදු ගෙවිය යුතු තනි පුද්ගලයකුගේ ආදායම් සීමාව රුපියල් ලක්ෂ 05 සිට මිලියන 03 ක් දක්වා ඉහළ නංවා ඇත.

එසේම, ජාතිය ගොඩනැගීමේ බද්ද වැනි සමහර බදුවලින් බදු ගෙවන්නන් සම්පූර්ණයෙන් නිදහස් කිරීමද මෙම අනුමත නව බදු සංශෝධනවල විශේෂත්වයකි.

ඒ අනුව නිලධාරීන් පවසන ලෙස අය නොවන බදු ආදායම් ඉතුරු කිරීම් ලෙස පරිවර්තනය වීමට හැකියාවක් තිබුණද එයින් දිරිගැන්වීම‍ට ලක්වෙන අංශ සහ කර්මාන්ත සම්බන්ධව දෙපාර්තමේන්තුව අවධානයෙන් සිටිය යුතු බවද රජයේ මුදල් පිළිබඳව කාරක සභාව මෙම අවස්ථාවේදී පෙන්වා දී තිබේ.

Visits: 147