ඇමෙරිකාවේ Rizing සමාගම MASහි attune Lanka මිලදී ගනී

ශ්‍රී ලංකාවේ MAS හෝල්ඩිංග්ස් සමාගමට අයත් පරිපාලිත සමාගමක් වන attune Lanka (පෞද්) සමාගම ඇමෙරිකා එක්සත් ජනපදයේ Rizing සමාගම මගින් මිලදී ගෙන ඇතැයි MAS හෝල්ඩිංග්ස් සමාගම නිවේදනය කර සිටියි. විලාසිතා කර්මාන්තය තුළ SAP විසඳුම් ලබා දෙන සමාගමක් ලෙස මෙම attune Lanka ක්‍රියාත්මක වෙයි.

එසේම මෙම මිලදී ගැනීම සිදු කළ එක්සත් ජනපදයේ පිහිටි මූල්‍ය සේවා සමාගමක් වන Rizing LLC සමාගමත් ලොව පුරා පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත, ව්‍යාපාර වත්කම් කළමනාකරණය සහ මානව ප්‍රාග්ධන කළමනාකරණය යනාදී කටයුතු සඳහා SAP විසඳුම් සම්පාදනය කිරීමේ විශේෂඥතාවක් සහිත සමාගමක් බව පැවසෙයි.

“MAS හෝල්ඩිංග්ස් සමාගම 2018 වසරේදී මෙම ප්‍රමුඛ පෙළේ ගෝලීය උපදේශක සමාගමත් සමගින් මෙම දිගුකාලීන උපාය මාර්ගික සැලසුමක් වෙනුවෙන් වන එකඟතාව සම්පූර්ණ කළා. ඒ හරහා සමාගමේ මූලික තරගකරුවන් මෙන්ම කාන්තා තාක්ෂණික (Femtech) සහ පැළැදිය හැකි තාක්ෂණය සම්බන්ධවෙන් වන ක්ෂේත්‍ර පිළිබඳව හඳුනාගැනීමක් සිදු කළා. attune සමාගම අපෙන් ඉවත්වීම එම සැලසුමේ ප්‍රතිඵලයක්. ඉන් සමාගම වෙත සිය වර්ධනය වෙනුවෙන් සුදුසු හවුල්කරුවා සොයා ගැනීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.” යනුවෙන් MAS හෝල්ඩිංග්ස් සමාගම පවසයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ හිමිකාරීත්වය සහිත ගෝලීය තාක්ෂණික සමාගමක් වෙත ඇමෙරිකාවේ විශාලතම පෞද්ගලික මූල්‍ය සමාගමක් මගින් සිදු කළ මෙම ආයෝජනය සුවිශේෂී අවස්ථාවක් බව MAS හෝල්ඩිංග්ස් සඳහන් කරයි. ඒ හරහා attune වෙත ඉදිරි වසරවලදී සිය ව්‍යාපාර කටයුතු පුළුල් කරගැනීමටත් ශක්තිමත් කරගැනීමටත් උදව් වෙනු ඇතැයිද එම සමාගම පවසයි.

මෙම කරුණ සම්බන්ධයෙන් අදහස් දක්වන MAS හෝල්ඩිංග්ස්හි සභාපති මහේෂ් අමලීන් මහතා, “Rizing සමාගම මගින් attune අත්පත් කරගැනීම මගින් ඒ වෙත Rizing සමාගමේ ගෝලීය ප්‍රමාණයේ සහ විශේෂඥතාවල ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වේවි. ඒ වගේම එහි පාරිභෝගිකයන්ට වගේම සේවකයන්ටත් මුල් පෙළේ විලාසිතා සහ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගම් වෙත විසඳුම් ලබා දෙන ප්‍රමුඛ පෙළේ සමාගමක කොටස්කරුවන් බවටපත් වීමට හැකි වේවි.” යනුවෙන් පවසා සිටියි.

මේ අතර MAS සමාගම ශ්‍රී ලංකාව තුළ සහ විදේශයන්හි සිදු කරන SAP නිපැයුම් සහ සේවා සඳහා වන ඉදිරි හඳුන්වාදීම් සහ සහයෝගිතා වෙනුවෙන් එම සමාගම ඉදිරියටත් Rizing සහ attune සමගින් සමීප හවුල්කාරීත්වයක් පවත්වා ගෙන යන බවත් පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන Rizing හි ප්‍රධාන විධායක නිලධාරී මයික් මායිඔලෝ, “සමාගම් දෙකෙහිම පාරිභෝගිකයන් මෙම හවුල්කාරීත්වය හරහා ප්‍රතිලාභ ලබාවි. පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයේ සහ විලාසිතා කර්මාන්තයේ නිරත ප්‍රධාන පෙළේ SAP විසඳුම් ලබා දෙන සමාගම් දෙකක එක්වීම හරහා බිහි වන ඒකාබද්ධ අත්දැකීම්, විශේෂඥතා සහ විශාලත්වය සම්බන්ධයෙන් වන අද්විතීය වටිනාකම් ලබාදීමක් සිදු කරනවා.” යනුවෙන් ද පවසයි.

අද වනවිට ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, චීනය, හොංකොං, ඉතාලිය, ජර්මනිය, එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ නෙදර්ලන්තය යන රටවල attune Lanka සමාගම් පිහිටුවා තිබේ. මෙලෙස ලොව පුරා එම සමාගම හා එක්ව සේවය කරන පිරිස 500ක් ඉක්මවා ඇතැයිද පැවසෙයි.

මෙම ගනුදෙනුවේදී ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව සහ M&A උපදේශක කණ්ඩායම MAS හෝල්ඩිංග්ස් සමාගම වෙත උපදේශකත්වය ලබාදුන් බවත් පවසයි.

Visits: 245