BPPL තිරසාරත්වය සඳහා වන සිය කැපවීම තව තවත් ශක්තිමත් කරයි

පරිසර හිතකාමී නිෂ්පාදන නිර්මාණයේ ශ‍්‍රී ලාංකේය පුරෝගාමියකු වන BPPL හෝල්ඩින්ග්ස් පසුගිය මස යෙදී තිබූ ලෝක මිහිතල දිනය පදනම් කර ගනිමින් ව්‍යාපාරික තිරසාරභාවය සඳහා වන ආයතනික කැපවීම යළිත් තහවුරු කිරීමට සමත් වූ බව පවසයි.

ඒ අනුව “අපගේ ලෝකය යථා තත්වයට පත්කරන්න’ යන්න තේමා කරගත් මෙවර ලෝක මිහිතල දිනයේදී ස්වාභාවික ක‍්‍රියාවලීන්, හරිත තාක්ෂණයන් හා නව්‍යකරණ චින්තනයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලදී.” යනුවෙන් එම සමාගම සඳහන් කරයි.

එහිදී BPPL සමූහය විසින් ගෝලීය වශයෙන් පරිසරයට අහිතකර ලෙස බලපානු ලබන සීඝ‍්‍රයෙන් වර්ධනය වන කාර්මික භාවිතයන් අවම කිරීම වෙනුවෙන් තිරසාර කළමනාකරණය හා පෘථිවියේ ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම ප‍්‍රමුඛතම කරුණක් බවට පත්ව ඇති බව අවධාරණය කරන ලදී.

අනාගත පරපුර වෙනුවෙන් ස්වාභාවික සම්පත් හා පාරිසරික සුවපහසුව ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තිරසාරභාවය සුවිසල් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. BPPL සමූහයට අයත් ප‍්‍රධාන ව්‍යාපාරයක් වන Eco Spindles දෛනිකව ප්ලාස්ටික් බෝතල් 360,000 වඩා වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රතිචක‍්‍රීයකරණයට ලක් කරමින් පොලියෙස්ටර් නූල් සහ මොනොෆිලමන්ට් නිෂ්පාදනය කරනු ලබයි. ඒ තුළින් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා තිරසාරභාවය හා තාක්ෂණය ඒකාබද්ධ කිරීමෙන් පෘථිවිය තුළ කාබන් ප‍්‍රතිශතය අවම කිරීම සමාගමේ මෙහෙවර බවට පත්ව ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ BPPL හෝල්ඩින්ග්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා සඳහන් කර සිටියේ ‘‘අපගේ ව්‍යාපාරයන්හි ප‍්‍රමුඛ අරමුණ බවට පත්ව ඇත්තේ තිරසාරත්වයයි. අද වන විට මිලියන 380කට අධික ප්ලාස්ටික් බෝතල් ප‍්‍රමාණයක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කරමින් හරිත ශ‍්‍රී ලංකාවක් සඳහා අපගේ දායකත්වය ලබා දී තිබෙන බව සතුටින් සඳහන් කළ හැකියි. පෘථිවිය තුළ ඇති සම්පත් අතිශය සීමිත බැවින් ස්වාභාවික සම්පත් ආරක්ෂා කරමින් ව්‍යාපාර ඉදිරියට පවත්වාගෙන යා යුතු බව අප අවබෝධ කර ගත යුතුයි.  විශේෂයෙන් වර්තමානය වන විට ව්‍යාපාර තිරසාර බව ආයතනික උපාය මාර්ගයන්හි කොටසක් බවට පත් කර ගැනීමට අප සියලූ දෙනා කටයුතු කළ යුතුයි.’’යනුවෙනි.

ව්‍යාපාරික ආචාරධර්ම ක‍්‍රමෝපායන් ශක්තිමත් කිරීම සඳහා තිරසාරභාවය පිළිබඳ මනා කැපවීමක් ව්‍යාපාරයන් සතු විය යුතුය. වගකීම් සහගත සැපයුම් දාමයක් ගොඩනැගීමේ මූලාශ‍්‍රයක් ලෙස තිරසාරභාවය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර සැපයුම්කරුවන් තෝරා ගැනීමේ ක‍්‍රියාවලියේදී තිරසාරබව විසින් සමාජ, සදාචාරාත්මක හා පාරිසරික හැකියාවන් යන අංග සියල්ල එකට එක් කරනු ලබයි. BPPL සමූහයේ අනුබද්ධ සමාගමක් වන Beira Brush සමාගම ශ‍්‍රී ලංකාවේ FSCTM (වන භාරකාරීත්ව මණ්ඩලය) සහතික කළ වතුවලින් පමණක් තමන්ට අවශ්‍ය දැව මිලදී ගනිමින් ව්‍යාපාරික ආචාරධර්ම ක‍්‍රමෝපායන් පවත්වාගෙන යාමට කටයුතු කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ BPPL හෝල්ඩින්ග්ස්හි අනුකූලත්ව හා තිරසාරබව පිළිබඳ ප‍්‍රධානී විද්‍යා කරුණාරත්න මහතා ‘‘තිරසාර කර්මාන්ත සඳහා වන ශක්තිමත් සාධක ලෙස වන සංරක්ෂණ කවුන්සිලය සහතික කළ දැව හඳුන්වා දිය හැකියි. එම සහතික කිරීම මගින් දැව නිෂ්පාදනයේදී පාරිසරික වශයෙන් සුදුසු කළමනාකරණ ක‍්‍රමවේද භාවිතා කිරීම පිළිබඳ තහවුරු කරනවා. විශේෂයෙන් වනාන්තර තමන්ගේ නිවස ලෙස සලකන පරිසර පද්ධති, වන ජීවීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් වන භාරකාරීත්ව මණ්ඩලය මෙම සහතික කිරීම ඉතා වැදගත් වන බව මෙහිදී පෙන්වා දිය හැකියි.’’ යනුවෙන් පැවසීය.

මෙම සමූහය විසින් පිළිගත් අමුද්‍රව්‍ය භාවිතයට අමතරව කර්මාන්තශාලාවල තිරසාර බලශක්ති උත්පාදනය වෙනුවෙන්ද ප‍්‍රමුඛත්වයක් ලබා දීමට කටයුතු කර ඇත. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය විදුලි බලයෙන් 53%ක් පමණ සූර්ය හා බයෝමාස් (ජෛව ස්කන්ධ) ශක්තීන් මගින් නිෂ්පාදනය කර ගැනමට සමූහය කටයුතු කර ඇත්තේ  තිරසාරභාවය පිළිබඳ කදිම ආදර්ශයක් සපයමිනි.

LEED විසින් සහතික කරනු ලැබූ හරිත ගොඩනැගිල්ලක ක‍්‍රියාත්ම Eco Spindles හි කෘතිම ෆිලමන්ට් නිෂ්පාදන කම්හල සිය නිෂ්පාදන සිදු කිරීමේදී සූර්ය බලශක්තිය උත්පාදනයට ද කටයුතු කරනු ලබයි. බලශක්ති පරිභෝජනය හරහා කාර්යසාධනයන් ඉහළ නැංවීම, සම්පත් කළමනාකරණය සහ ඒවායේ බලපෑම සම්බන්ධයෙන් සංවේදීතාව ඉහළ නැංවීම අරමුණු කරගත් උපායමාර්ගවලට අනුව මෙම කර්මාන්තශාලාව සැලසුම් කිරීම සහ ගොඩ නැගීම සිදු කර ඇත.

Visits: 451