2020දී විදේශ රැකියා සඳහා පිටත්ව යෑම් 73%කින් අඩුවෙයි

පසුගිය 2020 වසරේදී විවිධ ශ්‍රම කාණ්ඩ යටතේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මෙරට ශ්‍රමිකයන් සංඛ්‍යාව 53,713ක් බව මහ බැංකුව නිකුත් කළ 2020 වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි. ඒ අනුව මෙය 2019 වසරේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන් 203,087ට සාපේක්ෂව 149,374ක් එනම් 73.6%ක ප්‍රතිශතයක අඩුවීමකි.

ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයේ දත්ත උපුටා දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම කරුණු සඳහන් කර සිටියි.

එහි සටහන්ව ඇති ආකාරයට පසුගිය වසරේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිස අතරින් 18,304 දෙනෙකු ලියාපදිංචි නියෝජිතයන් හරහාද, 35,409 දෙනෙකු වෙනත් මූලයන් හරහාද විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලියාපදිංචි කරන ලද සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ පිටත්ව යෑම් සඳහා පැනවූ තාවකාලික තහනම, ශ්‍රී ලංකාවෙන් ශ්‍රමය ලබා ගන්නා රටවල් පැනවූ සංචරණ සීමා, විදේශ ශ්‍රමිකයන් බඳවා ගැනීම් නවතා දැමීම සහ සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා ඇති ඉල්ලුම පහළ යෑම් යන කරුණු මෙම අඩුවීම සඳහා හේතු වී තිබෙන බව මහ බැංකුව පවසයි.

මෙහිදී විදේශ රැකියා සඳහා පිටත් වූ වැඩි පිරිස පුරුෂයන්ය. එය 32,453 කි. එය සමස්තයෙන් 60.4%ක ප්‍රතිශතයක් ගනී. එසේම කාන්තාවන් 21,260 දෙනෙකුද රැකියා සඳහා විදෙස් ගතව ඇත. එය ප්‍රතිශතයක් ලෙස 39.6% කි. කෙසේ වෙතත් පුරුෂයන් සහ කාන්තාවන් රැකියා සඳහා විදෙස් ගතවීම් පසුගිය වසරේදී පිළිවෙලින් 73.5% කින් සහ 73.7%කින් පහත වැටී තිබේ.

 මේ අතර ශ්‍රම කාණ්ඩය අනුව පසුගිය වසරේදී වැඩිම පිරිසක් විදෙස් ගතව ඇත්තේ පුහුණු ශ්‍රමිකයන් ලෙසිනි. එය 16,690කි. එසේම දෙවැනි තැන සිටින ගෘහ සේවිකාවන් 15,388 දෙනෙකු විදෙස් ගතව ඇත. තෙවැනි තැන නුපුහුණු ශ්‍රමිකයන්ට හිමිව ඇති අතර එවැනි 13,994 දෙනෙකු රටින් පිටව ගොස් ඇත.

එසේම වෘත්තිකයන් 2,929 දෙනෙකු, ලිපිකරු හා ඒ ආශ්‍රිත 2,484 දෙනෙකු සහ මධ්‍යම මට්ටමේ 1,480 දෙනෙකු විදෙස් රැකියා සොයා රටින් පිටව ගොස් ඇත. මීට අමතරව අර්ධ පුහුණු ශ්‍රමිකයන්ද 748 දෙනෙකු 2020 වසරේදී විදෙස් රැකියා සඳහා රටින් පිටවී තිබේ.

මේ අතර, උද්ගතවූ තත්ත්වයද සමගින් 2020 වසරේ දෙවැනි භාගයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සැලකිය යුතු ලෙස ඉහළ යාමක් වාර්තා වී තිබීමත් කැපී පෙනෙන අවස්ථාවකි. ඒ අනුව 2020 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් මාසයක් තුළ වාර්තා වූ ඉහළම විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය සටහන්ව තිබේ.

“2020 වසර තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් බිලියන 7.1ක් දක්වා‍, පෙර වසර හා සැසඳීමේදී 5.8%කින් ඉහළ ගියේය.” මහ බැංකුව පවසයි.

ඒ අනුව වසංගත තත්ත්වය නිසා සංචාරක ඉපැයීම් සැලකිය යුතු ලෙස පහළ යෑමෙන් වූ බලපෑම අඩු කිරීමටද මෙම විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යෑම් උපකාරී වූ බවද මහ බැංකුව සඳහන් කර සිටියි.

කෙසේ වෙතත් කොවිඩ්-19 වසංගත තත්ත්වයේ බලපැම හේතුවෙන් විදෙස් රටවල සේවය කරමින් සිටි මෙරට ශ්‍රමිකයන් ලක්ෂ ගණනින් ආපසු පැමිණීමක්ද පසුගිය වසරේදී මෙන්ම මේ වසරේදී වාර්තා වෙයි.

“කොවිඩ්-19 වසංගතයේ පළමු රැල්ල යුරෝපා කලාපය තුළ ව්‍යාප්තවීමත් සමග නොසන්සුන් වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් 2020 ආරම්භයේදී ඉතාලිය, දකුණු කොරියාව සහ අනෙකුත් යුරෝපීය රටවල සිට බහුලව මෙරටට පැමිණීම සිදු විය. එසේම කොන්ත්‍රාත් කාලසීමාව අවසන් වීම, රැකියා අහිමිවීම සහ වේතන කප්පාදු හමුවේ සංක්‍රමණික ශ්‍රමිකයන්ට මෙරටට පැමිණීමේ අවශ්‍යතාව වඩාත් තීව්‍ර විය.” මහ බැංකුව පවසයි.

ඒ අනුව ඉදිරියේදී මෙම විදෙස්ගත ශ්‍රමිකයන් හරහා මෙරටට හිමිවන විදේශ මුදල් ප්‍රේෂණවල වටිනාකම් යම් ප්‍රමාණයකින් අඩුවීමේ අවදානමක්ද පවතී.

Visits: 301