කලම්බෝ සිටි සෙන්ටර් රෙසිඩන්සීස් සහ කොමර්ෂල් බැංකුව අතර ඒකාබද්ධතාවක්

කලම්බෝ සිටි සෙන්ටර් (CCC) රෙසිඩන්සීස් හි, සංවර්ධකයා වන අබාන්ස් සමූහය සහ කොමර්ෂල් බැංකුව ඇතිකර ගත් ඒකාබද්ධතාවයක් යටතේ මහල් නිවාස මිලදීගන්නා ගැනුම්කරුවන්ට සංවර්ධකයා විසින් පොලිය දරාගැනීමේ යෝජනා ක‍්‍රමයක් යටතේ පොලී සහ ගාස්තු රහිත ආයෝජන ක‍්‍රමයක ප‍්‍රතිලාභය හිමි වන බව පවසයි.

මෙම ඒකාබද්ධතාවයට අනුව මෙම නිවාසවල වටිනාකමින් 80% ක් දක්වා මුදලක් ගැනුම්කරුවාට කොමර්ෂල් බැංකුව වෙතින් ණය මුදලක් ලෙසින් ලබාගත හැකි අතර විකුණුම්කරුවා විසින් මාස 24 ක් දක්වා පොලී මුදල් මාස්පතා ගෙවීම සිදුකරන බව බැංකුව සඳහන් කරයි.

මීට අමතරව, කලම්බෝ සිටි සෙන්ටර් (CCC) රෙසිඩන්සීස් විසින් ගනුදෙනුකරුවා වෙනුවෙන් වසර දෙකක කාලයක් කළමනාකරණ ගාස්තුද ගෙවන බව සඳහන් කර තිබේ. මේ අනුව, මෙම නිවාස මිලදීගැනීම සඳහා ගනුදෙනුකරුවා විසින් ගෙවිය යුත්තේ නිවාසවල වටිනාකමින් 20% ක මුදලක් පමණක් වන අතර ඉන්පසු වසර දෙකක් යනතුරු කිසිදු ගාස්තුවක් ගැනුම්කරුවා විසින් ගෙවිය යුතු නොවේ.

මෙම විශේෂ යෝජනා ක‍්‍රමය යටතේ වසර 20 ක් දක්වා ගෙවා අවසන් කිරීමේ පදනම මත මෙම නිවාස ණය ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි. මෙහිදී, පවතින පොලී අනුපාත අනුව උපරිමයකට යටත්ව පොලී මුදල කලම්බෝ සිටි සෙන්ටර් (CCC) රෙසිඩන්සීස් විසින් මාස 24 කාලයක් සඳහා ගෙවන බව කොමර්ෂල් බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම ඒකාබද්ධතාවය පිළිබඳව කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ගැනුම්කරුවන්ට නිවාස මිලදීගැනීමට සහයෝගය ලබාදෙමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දේපොළ සංවර්ධන වැඩසටහනකට සහාය ලබාදීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙම සංවර්ධකයා පොලී දරාගැනීමේ යෝජනා ක‍්‍රමය යටතේ ගැනුම්කරුවන්ගේ පොලිය වසර දෙකක් ගෙවන නිසා ඒ සහනය තුළින් 20% ක මුදලක් පමණක් ගෙවා මෙම නිවාස මිලදීගැනීමේ සහනය ගැනුම්කරුවන්ට ලැබෙනවා. මෙය ගැනුම්කරුවන්ට ඉතා වටිනා පහසුවක්.’

කලම්බෝ සිටි සෙන්ටර් (CCC) රෙසිඩන්සීස් හි, කාමර 02, කාමර 03 සහ පෙන්ට්හවුස් සුඛෝපභෝගී නිවාස 192 ක් තිබෙන අතර එහි ජාත්‍යන්තර තලයේ සාප්පු සංකීර්ණයක්, සිනමා ශාලා, අවන්හල්, සුපිරි වෙළෙඳසැල්, දරුවන්ට ක‍්‍රීඩා කිරීමේ ස්ථාන ඇතුළු බොහෝ පහසුකම් පිහිටුවා තිබේ. අබාන්ස් පී.එල්.සී. සමාගම මෙම ව්‍යාපෘතිය සංවර්ධනයේ ප‍්‍රධාන පාර්ශවකරුවා වන අතර පවතින අහිතකර වෙළෙඳපොළ වාතාවරණය යටතේ වුවද ව්‍යාපෘතිය අවසන් කරමින් සිටී.

කලම්බෝ සිටි සෙන්ටර් අලෙවි අධ්‍යක්ෂ, හිරුෂ්ක ප‍්‍රනාන්දු මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. ‘කොමර්ෂල් බැංකුව වැනි ගෞරවණීය බැංකුවක් සමග ඒකාබද්ධවීම තුළින් ගැනුම්කරුවන්ට කොළඹ හදවත බඳු ස්ථානයක පිහිටි මෙම නිවාස සංකීර්ණයේ නිවාසයක් ඉදිරි වසර දෙක තුළදී කිසිදු අමතර ගාස්තුවක් නොගෙවා වටිනාකමින් 20% ක පමණ මුදලක් ගෙවා මිලදී ගැනීමට හැකි වෙනවා.’

Visits: 64