LOLC ඉහළ යාමෙන් දර්ශක අගයන්හි කැපී පෙනෙන වර්ධනයක්

අද (අප්‍රේල් 28දා) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු පෙර දින කිහිපයට සාපේක්ෂව යම් ධනාත්මක තත්ත්වයක් පෙන්නුම් කෙරිණි. විශේෂයෙන්ම නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය සහ එල්ඕඑල්සී සමූහයේ සමාගම් වඩාත් වේගයෙන් ප්‍රකෘතිමත් තත්ත්වයට පත්වීමත්, ආයෝජකයන් සතු බැංකු කොටස් අලෙවි කිරීමේ වැඩි අවස්ථාවක් දැකගත හැකි වූ බවත් කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,055.41ත් ඒකක 7,259.84ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,239.94ක් බවට පත්විය. එය ඊයේ (අප්‍රේල් 27දා) දිනයට සාපේක්ෂව ඒකක 173.24 ක් එනම් +2.45%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 155ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 32ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී පීඑල්සී LOLC (+26.41), එක්ස්පෝ ලංකා ‍හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+15.96), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+13.04), වැලිබල් වන් පීඑල්සී VONE (+9.82), රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී RCL (+9.3), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-5.63), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-1.64), සීටී හෝල්ඩිංග්ස් පීඑල්සී CTHR (-1.37), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා DIST (-1.04), හැටන් නැෂනල් බැංකුව HNB (-0.48) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,878.80ක අගයක් ගත් අතර, එය ඊයේ (27දා) ‍ට සාපේක්ෂව ඒකක 76.74 ක එනම් +2.74%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.17ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (අප්‍රේල් 27) වාර්තා කළ රුපියල් බිලියන 1.95ට සාපේක්ෂව 11% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.19ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 7.82%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 48.88ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 109.69ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 60.81කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 20.45ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 21.48 කි. එසේම නෙස්ලේ ලංකා පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 41.96ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 743ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 34% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ආහාර, පාන වර්ග සහ දුම්කොළ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 455ක සහ රුපියල් මිලියන 328ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 233