පෞද්ගලික රෝහල් COVID-19 එන්නත් ආනයනයට යළිත් අනුමැතිය ඉල්ලලා

COVID-19 තෙවැනි රැල්ලත් සමගින්ම රට තුළ ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යාම හේතුවෙන් පෞද්ගලික අංශයේ රෝහල් කිහිපයක් COVID-19 එන්නත් ආනයනයට සහ බෙදා හැරීම සඳහා යළිත් වරක් රජයෙන් අනුමැතිය ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී රජයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක පෙර සකස් කළ මාර්ගෝපදේශ යටතේ මෙම කටයුතු සිදු කිරීමට එම පෞද්ගලික රෝහල් සිය කැමැත්ත පළ කර තිබෙන බවත් මේ පිළීබඳව පුවත් වාර්තාවක් ඉදිරිපත් කරන ඩේලිඑෆ්ටී පුවත්පත සඳහන් කරයි.

එහෙත් මෙරටට COVID-19 එන්නත් ආනයනට ඇරඹූ පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වාම එම එන්නත්වල එකම ආනයනකරුවා ලෙස රජය පමණක් කටයුතු කරයි. මේ දක්වා පෞද්ගලික රෝහල් වෙත එන්නත් ආනයනයට අනුමැතියක් ලබා දීමක් සිදු කර නැත. කෙසේ වෙතත් පෞද්ගලික රෝහල් තුළ පීසීආර් පරීක්ෂණ සහ COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමේ අවස්ථාව ලබා දී තිබේ.

මෙරට සෞඛ්‍ය අංශ දත්ත අනුව ඊයේ දිනය තුළ දී නව ආසාදිතයන් 997 දෙනෙකු හමුව තිබුණි. ඒ අනුව මේ වනවිට රට තුළ සක්‍රීය COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 7,152ක් ලෙස සටහන්ව ඇති අතර, මෙරට තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 96,698ක් බවට පත්ව ඇත. මේ දක්වා රෝගීන් 95,000කට වැඩි සංඛ්‍යාවක් සුවය ලබා තිබේ. මරණයට පත් වූ සංඛ්‍යාව 647කි.

මෙම කාරණා හේතුවක් කරගනිමින් පෞද්ගලික අංශයේ රෝහල් මෙලෙස එන්නත් ආනයනය සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙන බව ඩේලිඑෆ්ටී පුවත්පත පවසයි.

මේ හරහා රජය මගින් සිදු කරන නොමිලේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලට සමගාමීව, අනුමත මුදලක් යටතේ එම එන්නත් ලබා දීමේ හැකියාවක් පවතින බවත් එම පෞද්ගලික රෝහල් මෙහිදී රජයට පෙන්වා දී ඇත.

විශේෂයෙන්ම ඉන්දියාව තුළ මේ වනවිට උද්ගතව පවතින COVID-19 අර්බුදකාරී තත්ත්වය හමුවේ එරට වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනා වෙතම එන්නත්කරණය සඳහා අවශ්‍ය එන්නත් යම් මිලකට ප්‍රාන්ත වෙත අලෙවි කිරීම වෙනුවෙන් එම එන්නත් නිෂ්පාදන සමාගම් සඳහා අවසරය ලබා දීමට ඉන්දීය මධ්‍යම රජය ගත් තීරණය මෙරට පෞද්ගලික රෝහල් යළිත් වරක් සිය ඉල්ලීම් රජයට ඉදිරිපත් කිරීම සඳහා හේතුව වී ඇතැයිද පුවත්පත සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තුළ එන්නත්කරණය ආරම්භ කෙරුණු ජනවාරි 29 වැනිදා සිට මේ දක්වා කාලය තුළදී පුද්ගලයන් 925,242 දෙනෙකු වෙත එන්නත් ලබා දී තිබේ. එසේම ලබන සැප්තැම්බර් මාසය වනවිට ජනගහනයෙන් 40%කට ප්‍රතිශක්තිකරණය ලබා දීම සැලසුම බවද රජය සඳහන් කර සිටියි.

Visits: 289