සණස සංවර්ධන බැංකුවෙන් රුපියල් 2.25 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සණස සංවර්ධන බැංකුව මගින් සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට යෝජනා කර ඇතැයි පවසයි. බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 2.25 බැගින් ලාභාංශ ගෙවීමට මෙහිදී යෝජනා කෙරුණු බව බැංකුව පවසයි. මෙය 2020 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලබා දෙන ලාභාංශ ගෙවීමක් වන අතර, පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම ලෙසද සඳහන් කෙරී ඇත.

කෙසේ වෙතත් මෙම ලාභාංශ ගෙවන දිනයක් හෝ, ලාභාංශ රහිත දිනයක් (XD Date) පිළිබඳව බැංකුව මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නැත.

බැංකුව සඳහන් කරන ආකාරයට මෙම ලාභාංශ ගෙවීම සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව තිබේ. ඒ සඳහා වන මහා සභා රැස්වීමක් ඉදිරියේදී පැවැත්වීමටද නියමිතව ඇත.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගණුදෙනු නිමාවේදී සණස සංවර්ධන බැංකුවෙහි කොටසක වටිනාකම රුපියල් 51.00 ක් ලෙස සටහන් විය. එය පෙර පැවැති කොටසක වටිනාකම වූ රුපියල් 50.60ට සාපේක්ෂව ශත 40ක එනම් 0.79%ක ඉහළ යාමකි.

Visits: 237