කලබලකාරී කොටස් අලෙවිය ASPI යළිත් 7,000 ආසන්නයට පසු බස්සවයි

අද (අප්‍රේල් 27දා) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු තවත් දිනයකට පසු බැසීමක් පෙන්නුම් කෙරිණි. විශේෂයෙන්ම ආයෝජකයන් අතර පැවැති කලබලකාරී කොටස් අලෙවිය මෙන්ම මාසය අගදී සිදු කරන පියවීම් යනාදී කාරණා හේතුවෙන් දර්ශක අගයන් මෙලස පසු බැසීමක් සිදු වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම රට තුළ COVID-19 ආසාදිතයන්ගේ වර්ධනයද ආයෝජකයන් තුළ ඇති කළ කනස්සල්ලද මේ සඳහා හේතුවක් වී තිබේ.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,063.9ත් ඒකක 7,171.51ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,074.69ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (අප්‍රේල් 23දා) දිනයට සාපේක්ෂව ඒකක 157.96 ක් එනම් -2.18%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 20ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 165ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ජෝන් කීල්ස් හොටෙල්ස් පීඑල්සී KHL (+0.66), ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී CTEA (+0.62), හේලීස් ෆැබ්රික් පිඑල්සී MGT (+0.57), නවලෝක හොස්පිටල්ස් පීඑල්සී NHL (+0.32), සිට්‍රස් ලෙෂර් පීඑල්සී REEF (+0.24), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස්පී එල්සී LOLC (-11.05), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-8.87), කොමර්ෂල් බැංකුව COMB (-7.4), වැලිබල් වන් පීඑල්සී VONE (-7.23), ශ්‍රී ලංකා ටෙලිකොම් SLTL (-6.55) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,810.27ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (23දා) ‍ට සාපේක්ෂව ඒකක -68.90 ක එනම් -2.39%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.95ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (අප්‍රේල් 23) වාර්තා කළ රුපියල් බිලියන 2.37ට සාපේක්ෂව 18% ක පහළ වැටීමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම ගැනුම්කරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.12ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 5.24%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 56.54ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 35.01ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම්හි වටිනාකම රුපියල් මිලියන 21.53කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 20.39ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 17.01 කි. එසේම සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 13.73ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 560ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 29% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ආහාර, පාන වර්ග සහ දුම්කොළ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 332ක සහ රුපියල් මිලියන 310ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 263