කොමර්ෂල් බැංකුව මාස අටක් තුළ කැස්බෑ පැටවුන් 8,000 ක් මුහුදට මුදා හරී

වඳවීමේ තර්ජනයට පත්ව සිටින කැස්බෑවන් සංරක්ෂණය කරමින් ජෛව විවිධත්වය ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සහයෝගය ලබාදෙන ව්‍යාපෘතිය යටතේ අභිජනනය කරන ලද කැස්බෑ පැටවුන් දහස් ගණනක් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථානය වෙත මුදාහැරීම සිදුවෙමින් පවතී.

අම්පාර දිස්ත‍්‍රික්කයේ පානම ප‍්‍රදේශයේ ආරක්ෂිත කැස්බෑ කූඩු 70 ක් තුළින් අභිජනනය කළ කැස්බෑ පැටවුන් 8,490 දෙනෙකු පසුගිය මාස අට තුළදී මුහුදට මුදාහළ අතර මෙම කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකා වනජීවී සහ සාගර සම්පත් සංරක්ෂණය (WORC) විසින් සිදුකරයි. මේ සඳහා අරමුදල් සම්පාදනය කරමින් කොමර්ෂල් බැංකුව 2019 වසරේ සිටම සහයෝගය ලබාදීම කැපී පෙනේ.

මුහුදු කැස්බෑවන්ගේ කූඩු සහ බිත්තර ඌරන්, නරියන්, මුගටියන්, තිත් තලගොයන් සහ සුනඛයින්ගෙන් ආරක්ෂා කරගැනීම මෙම සංරක්ෂණ වැඩසටහනේ කෙටි කාලීන අරමුණ වී තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා කොමර්ෂල් බැංකුව සහයෝගය ලබාදීමත් සමඟ WORC සංවිධානය විසින් පසුගිය වසරේ සංරක්ෂණය කරන සාගර ප‍්‍රදේශය කිලෝ මීටර් තුනක් දක්වා පුළුල් කළ අතර 2021 වසරේදී එය තවත් කිලෝ මීටර් තුනකින් වැඩි කරන ලදී.   

මෙම ප‍්‍රදේශය තුළ Videlicet Green, Olive Ridley, Loggerhead සහ Leatherback යන කැස්බෑවන් වර්ග 04 දක්නට ලැබෙන අතර මෙම සංරක්ෂණ වැඩසටහන සිදුකරන්නේ මෙම මුහුදු ප‍්‍රදේශය තුළයි. මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය හේතුවෙන් මේ සඳහා වන අවබෝධතා ගිවිසුම පසුගිය වසරේදී කොමර්ෂල් බැංකුව සහ ශ‍්‍රී ලංකා වනජීවී සහ සාගර සම්පත් සංරක්ෂණය (WORC) විසින් තවදුරටත් දීර්ඝ කරන ලදී.

මෙම ප‍්‍රදේශයේ විනාශයට පත්වී තිබෙන පාරිසරික පද්ධතිය යථාතත්ත්වයට පත්කරමින් පරිසරය රැකගැනීමේ සංස්කෘතියක් වෙත එහි ජීවත්වන ප‍්‍රජාව යොමුකිරීම මෙම වැඩසටහනේ සමස්ත අරමුණ වේ. මෙම වැඩසටහන සඳහා අරමුදල් සැපයීමට අමතරව කොමර්ෂල් බැංකුව විසින් ප‍්‍රජාව සමග සබඳතා ගොඩනගා ගැනීමට, අධ්‍යාපනය සහ දැනුවත් කිරීම ප‍්‍රවර්ධනය කිරීමට, මෙම ව්‍යාපෘතියට අදාළව තිරසාර ජීවන සහ ව්‍යාපාරික අවස්ථාවන් හඳුනා ගැනීමට සහ එවැනි අවස්ථාවන් ඉක්මනින් ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා වනජීවී සහ සාගර සම්පත් සංරක්ෂණයට සහයෝගය දක්වයි. මේ පිළිබඳව අදහස් දක්වමින් බැංකුව සඳහන් කරන්නේ මෙම වැසටහනේ හැකි සෑම අංශයක් සඳහාම සහයෝගය දැක්වීමට බැංකුව සූදානමින් සිටින බවයි.

කොමර්ෂල් බැංකුව සහ WORC සංවිධානය එක්ව කඩොලාන වගා කිරීමේ ව්‍යාපෘතියක්ද දියත් කර තිබේ. එහි පළමු අදියර සාර්ථකව නිමාවූ අතර දෙවන අදියර මේ වනවිට ආරම්භ කරමින් සිටී.

කොග්ගල ප‍්‍රදේශයේ කඩොලාන සංරක්ෂණය සහ යථාතත්ත්වයට පත්කිරීමේ මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ කඩොලාන ශාක 2000 ක්, කඩොලාන ආධාරක 750 ක්, තවත් ශාක 500 ක් කොග්ගල වැව තුළ තිබෙන ‘කත්දුව’ නම් කුඩා දුපතේ අලූතින් වගා කිරීමට කටයුතු කළේය. මෙම වැඩසටහනේ දෙවන අදියර යටතේ මෙම දුපත වටා ආරක්ෂිත වළල්ලක් ලෙස තවත් කඩොලාන පැළෑටි 3,750 ක් වගා කිරීමට සැලසුම් කර තිබේ.

Visits: 78