හැටන් නැෂනල් බැංකුව යුරෝමනි සහ ඒෂියාමනී සම්මාන රැසක් දිනා ගනී

ජාත්‍යන්තර වෙළෙඳ සේවා සැපයුම් ක්ෂේත‍්‍රයේ සිය වෙළෙඳපොළ නායකත්වය අඛණ්ඩව මැනවින් විදහා දක්වමින් මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ලෝකයේ පිළිගත් ව්‍යාපාරික සහ මූල්‍ය සඟරාවන් වන යුරෝමනී හා ඒෂියාමනී සඟරා විසින් අඛණ්ඩව තුන්වන වරටත් ශ‍්‍රි ලංකාවේ ‘‘හොඳම වෙළෙඳ මූල්‍ය සේවා සපයන්නා ලෙසත් ඒෂියාමනී සඟරාව විසින් ‘වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොල ප‍්‍රමුඛයා’ ලෙස අඛණ්ඩව තුන්වන වරටත් සම්මානයට පාත‍්‍ර කර තිබීම කැපී පෙනෙයි.

 මේ වසරේ සම්මාන උළෙලේදී බැංකුවේ විශිෂ්ට කාර්යසාධනය පෙන්නුම් කරමින් 2019 හා 2020 වසරවල මෙරට ‘වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොල ප‍්‍රමුඛයා’ ලෙස යුරෝමනී සඟරාව විසින් HNB ඇගයීමට ලක් කළ අතර එමගින් ස්ථාවර මූල්‍ය සේවා විශිෂ්ටත්වයේ බැංකුවේ අද්විතීයත්වය සනාථ කරයි.

මෙම ජයග‍්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා ‘‘විශේෂයෙන්ම පසුගිය වසර දෙක තුළ අප අත්විඳි අවිනිශ්චිත සිදුවීම් සමඟ සේවාදායකයින්ට ඉහළ මට්ටමේ වෙළෙඳ මූල්‍ය සේවා ලබා දීමට අපගේ කණ්ඩායමට හැකියාව ලැබුණු අතර එමගින් ජාතික ආර්ථිකයට කැපීපෙනෙ දායකත්වයක් ලබා දීමට ද හැකි වුනා. විශේෂයෙන්ම කොවිඞ්-19 වසංගතයෙන් පසු මෙම සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත් වුනා. එබැවින් මෙම පෙර නොවූ විරූ අභියෝග හමුවේ සාර්ථකව ඉදිරියට යමින් වටිනා හවුල්කාරීත්වයන් නිර්මාණය කිරීමට නිරන්තරයෙන් හා විශිෂ්ට ලෙස කැපවූ සමස්ත වෙළෙඳ මූල්‍ය සේවා කණ්ඩායමට අපගේ කෘතඥතාව පළ කිරීමට කැමතියි.’’ යනුවෙන් පැවසුවේය.

ලෝකයේ වඩාත් කීර්තිමත් හා බලපෑමක් ඇති කළ හැකි මූල්‍ය සඟරාවක් ලෙස සැලකෙන යුරෝමනී සඟරාව ලෝකයේ ප‍්‍රමුඛ පෙලේ සමාගම්, බැංකු, ආයෝජකයින්, භාණ්ඩාගාර, තැරැව්කාර ආයතන, ප‍්‍රතිපත්ති සම්පාදකයින්, සහ නියාමකයින් හට තොරතුරු සපයන විශ්වසනීය මූලාශ‍්‍රයක් ලෙස ද සලකනු ලබයි.

යුරෝමනි සඟරාව ලෝකය පුරා විසිරී සිටින 25,000 කට අධික මූල්‍ය නිලධාරීන්, භාණ්ඩාගාර නිලධාරීන් සහ මුදල් කළමනාකරුවන් මත පදනම්ව වාර්ෂික සමීක්ෂණය සිදුකරන අතර ඒ තුළින් ගෝලීය, කලාපීය සහ රටවල් වශයෙන් වෙළෙඳ සේවා සපයන්නන් ඇගයීමට ලක් කරනු ලබයි.

HNB විසින් හිමිකර ගත් මෙම සම්මාන පාරිභෝගික අවශ්‍යතා මැනවින් වටහාගත් ඉදිරිපෙළ කාර්ය මණ්ඩලය සහ සබඳතා නිලධාරීන්, සුදුසුකම්ලත් වෘත්තිකයින්ගෙන් සමන්විත කැපවූ කණ්ඩායමක් විසින් බැංකුවේ වටිනා සේවාදායකයින්ට ලබා දුන් ජාත්‍යන්තර මට්ටමේ නම්‍යශීලී හා ශක්තිමත් විසඳුම්වලට කදිම සාක්ෂියකි.

මේ පිළිබඳව අදහස් දක්වන HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – Wholesale Banking Group දමිත් පල්ලේවත්ත මහතා ‘‘ණයවර ලිපි නිකුත් කිරීම හා ණයවර ලිපි සහතික කිරීම, අපනයන ලියකියවිලි සහතික කිරීම, අන්තරාල වෙළෙදාම සඳහා පහසුකම් සැපයීම යනාදී වෙළඳ මූල්‍ය සේවා සඳහා අවශ්‍ය පූර්ණ විසඳුම් හැටන් නැෂනල් බැංකුව මගින් සපයනු ලබන අතර අපගේ පාරිභෝගිකයින්ගේ සැපයුම් දාමයට වටිනාකමක් එක් කිරීමට අප සැමවිටම නව ක‍්‍රම සොයමින් සිටිනවා. පාරිභෝගික අවශ්‍යතා පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් ඒවාට විසඳුම් ලබා දීමට බැංකුව සතු සුවිශේෂී හැකියාව සමඟින් අපගේ ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා.’’ යනුවෙන් පැවසුවේය.

Visits: 32