ශ්‍රීලංකන් ගුවන් සේවය කෙන්යාවේ නයිරෝබි නුවර වෙත මෙහෙයුම් අරඹයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම කෙන්යාවේ නයිරෝබි නුවර වෙත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය සීෂෙල්ස් වෙත පියාසර කිරීමෙන් පසු නැගෙනහිර අප්‍රිකාවේ මෙහෙයුම් සිදුකරන දෙවන ගමනාන්තය ලෙස කෙන්යාව එක්වනු ඇත.

මෙහිදී නැගෙනහිර අප්‍රිකාවේ විශාලතම හා කාර්යබහුලම ගුවන්තොටුපළ වන ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපළ (NBO), සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල (BIA) අතර අද (22 ) දින සිට මෙම ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සේවය සෑම බ්‍රහස්පතින්දා දිනකම නයිරෝබි වෙත සිය ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා පිරිමැසුම් පන්තියේ ආසන 269 ක් සහ ව්‍යාපාරික පන්තියේ ආසන 28 ක් සහිත එයාර් බස් A330 වර්ගයේ ගුවන් යානා යොදවා ඇත.

යූඑල් 1715 ගුවන් යානය පැය 10:45 ට කොළඹින් පිටත් වී පැය 14:40 ට ජොමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබසිනු ඇත. පසුව UL1716 නයිරෝබි සිට පැය 04:40 ට පිටත් වී පැය 13:55 ට නැවත කොළඹට ලඟාවීමට සැලසුම් කර ඇත.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා “ශ්‍රීලංකන් ගුවන් සේවය අප්‍රිකානු කලාපයට ව්‍යාප්ත කරමින් කෙන්යාවේ අගනුවර වෙත ගුවන් ගමන් දියත් කිරීම ගැන අපි සතුටු වෙනවා. නව මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ ගෝලීය මාර්ග ජාලය හරහා බාධාවකින් තොරව සම්බන්ධතා ලබා ගනිමින් බොහෝ අය කෙන්යාවට ගොස් ලෝකයේ විශ්මය ජනක වන සතුන් ගවේෂණය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ” යනුවෙන් පැවසීය.

නැගෙනහිර සහ මධ්‍යම අප්‍රිකාවේ ව්‍යාපාරික හා විවේක කේන්ද්‍රස්ථානයක් ලෙස නයිරෝබි හඳුන්වා දිය හැකි අතර ඉන් පිටතට ප්‍රවාහනය සඳහා ඇති ඉල්ලුම ද විශාල ලෙස ඉහළ ගොස් තිබේ. නයිරෝබි පිහිටා තිබෙන්නේ පුළුල් ජල පෝෂක ප්‍රදේශයකට අයත්ව ගොඩබිම සහ ගුවන් සම්බන්ධතා ඇති උපාය මාර්ගිකව වන අතර එමගින් උගන්ඩාව, ඉතියෝපියාව, ටැන්සානියාව, රුවන්ඩාව, මලාවි, සැම්බියාව සහ මැඩගස්කරය වෙත ඉතා පහසු සම්බන්ධතා සපයයි. කෙන්යාවේ මාසායි මාරා ජාතික රක්ෂිතය, සෙරෙන්ගෙටි ජාතික උද්‍යානය සහ ටැන්සානියාවේ සැන්සිබාර් ඉතා ජනප්‍රිය සෆාරි සහ ජාතික උද්‍යාන ලෙස හැඳින්විය හැක.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී විපුල ගුණතිලක මහතා සඳහන් කළේ නැගෙනහිර අප්‍රිකාව, ඈත පෙරදිග සහ ඉන්දියානු උප මහද්වීපය අතර සැලකිය යුතු මාර්ග තදබදයක් ඇති කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මෙම නව මාර්ගය ඉඩ සලසන බවයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ අංශ ප්‍රධානී චාමර රණසිංහ මහතා “මෙම ගමනාන්තය අනෙකුත් ප්‍රධාන අප්‍රිකානු කේන්ද්‍රස්ථාන සම්බන්ධ කිරීමේ දොරටුවක් ලෙස ක්‍රියා කරනු ඇති අතර එමඟින් ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවාහනය පාරිභෝගිකයින්ට පෙර නොවූ විරූ මට්ටමකට ව්‍යාප්ත වනු ඇතැයි අපේක්ෂා කරයි”. යනුවෙන් පෙන්වා දෙයි.

Visits: 52