එලෝන් මස්ක්ගේ චන්ද්‍රිකා අන්තර්ජාල ව්‍යාපෘතිය අවදානම්ලු – තරගකාරී සමාගම් පවසයි

ලොව සුප්‍රසිද්ධ ව්‍යවසායකයෙකු වන එලෝන් මස්ක් විසින් ඉදිරිපත් කර ඇති චන්ද්‍රිකා තාක්ෂණය හරහා අන්තර්ජාල පහසුකම් ලබා දීමේ ව්‍යාපෘතිය දැඩි අවදානමක් සහිත යෝජනාවක් බවට අදහසක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මස්ක්ගේ මෙම ව්‍යාපෘතිය Starlink ලෙස නම් කෙරී තිබේ. එය ඔහු විසින් ප්‍රමුඛතාව ලබා දී තිබෙන අභ්‍යවකාශ යානා පර්යේෂණ සමාගම වන SpaceX සමාගමේ හිමිකාරීත්වය යටතේ ක්‍රියාත්මක වන්නකි. 

කෙසේ වෙතත් අන්තර්ජාල සේවා සපයන අනෙකුත් තරගකාරී සමාගම්, නියාමකයන් සහ තාක්ෂණික විශේෂඥයන් මෙම ව්‍යාපෘතියේ ඇති අවදානම සම්බන්ධයෙන් මෙලෙස කරුණු දක්වා තිබේ.

ඒ අනුව ඔවුන් දැනටමත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ප්‍රතිපත්ති සම්පාදකයන් වෙත එම කරුණු ඉදිරිපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. විශේෂයෙන්ම මෙම Starlink ව්‍යාපෘතිය හරහා අන්තර්ජාල සේවා සම්පාදනයේ ඒකාධිකාරී බලයක් එලෝන් මස්ක් වෙතට හිමිවන බවට ඔවුන් එහිදී චෝදනා කර සිටියි.

මෙම Starlinkව්‍යාපෘතිය හිමි Space X සමාගමට අනුව මේ යටතේ පෘථිවි කක්ෂය වෙත චන්ද්‍රිකා 12,000කට ආසන්න ප්‍රමාණයක් යැවීම සැලසුම වී තිබේ. ඒ සඳහා වන අනුමැතියද දැනටමත් සමාගමට හිමිව ඇත. මෙම කටයුතු හරහා පෘථිවියේ සෑම කෙළවරකටම අධිවේගවත් අන්තර්ජාල පහසුකමක් සැපයීමට හැකි වන බව සමාගම පවසා සිටියි. එසේම ඉදිරියේදී තවත් චන්ද්‍රිකා 30,000ක් කක්ෂගත කිරිමටත් SpaceXසමාගම අනුමැතිය බලාපොරොත්තුව සිටින බවත් පැවසෙයි.

කෙසේ වෙතත් එලෝන් මස්ක්ගේ මෙම චන්ද්‍රිකා අන්තර්ජාල ව්‍යාපෘතිය වෙත එක හෙලාම සිය විරෝධය දක්වා සිටින Via sat Inc, OneWeb Global Ltd, Hughes Network Systems සහ Boeing Co. යන තරගකාරී සමාගම් මෙම සැලසුම්වලට එරෙහිව එලෝන් මස්ක්ගේ සමාගම වෙත අභියෝග කරමින් සිටියි.

එහිදී මස්ක්ගේ මෙම චන්ද්‍රිකා හරහා සිය උපාංගවල සංඥා වෙත බාධා පමුණුවනු ඇති බවට ඔවුන්ගේ මූලිකම චෝදනාව වෙයි. එසේම එය අභ්‍යවකාශ සුරක්ෂිතතාව මෙන්ම අභ්‍යවකාශයේ චන්ද්‍රිකා ගොඩ වැඩිවී එය අභ්‍යවකාශ පරිසරය වෙතද හානිදායක බව යන්නද ඔවුන්ගේ අදහසක් වී තිබේ.

Visits: 100