පිටපිට දෙවැනි දිනටත් ඇලුමිනියම් සමාගම් වටිනාකම් ඉහළට

අද (අප්‍රේල් 19දා) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු තුළදී LOLC සමූහය ඇතුළුව තවත් විශාල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම් කොටස් වටිනාකම් තුළ පෙන්නුම් කළ ඉහළ වාෂ්පශීලීතාව හේතුවෙන් සහ ආයෝජකයන් තුළ ලාභ ඉපැයීමේ අවස්ථාවන් වර්ධනය වීම යනාදී කාරණා හේතුවෙන් දර්ශක අගයන් පහත වැටුණු බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

කෙසේ වෙතත් ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදන හා සම්බන්ධ සමාගම් කොටස් වටිනාකම් වෙත පිට පිට දෙවැනි දිනටත් අද දිනයේදීද යම් ඉහළ මට්ටමකට පත් වූ බවද සඳහන් වෙයි. එසේම ඉහළ පිරිවැටුම් මට්ටම සහ සිදු වූ ගනුදෙනු ප්‍රමාණය ඉදිරියේදී ආයෝජකයන් තුළ පවතින විශ්වාසය පෙන්නුම් කළ බවත් එම සමාගම් සඳහන් කරයි..  

ඒ අනුව අද දිනයේදී ඒකක 7,541.40ත් ඒකක 7,612.85ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,553.50ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (අප්‍රේල් 16දා) දිනයට සාපේක්ෂව ඒකක 47.07 ක් එනම් -0.62%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව හැටන් නැෂනල් බැංකුව, ස්විස්ටෙක් සිලෝන් පීඑල්සී සහ ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී යන සමාගම් තුළ සිදු වූ ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 6.8%ක දායකත්වයක් ලබා දී ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 47ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 112ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+3.28), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+1.68), ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පිඑල්සී ASIR (+1.56), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (+1.14), එල්බී ෆිනෑන්ස් පීඑල්සී LFIN (+1.01), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-5.42), වැලිබල් වන් පීඑල්සී VONE (-4.94), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (-4.52), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-4.46), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-2.91) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,042.15ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (16දා) ‍ට සාපේක්ෂව ඒකක 29.35 ක එනම් -0.96%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.98ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (අප්‍රේල් 16) වාර්තා කළ රුපියල් බිලියන 3.56ට සාපේක්ෂව 16% ක පහළ වැටීමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.31ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 11.74%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 130.7ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 319.26ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 188.55කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 20.62ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 4.88 කි. එසේම ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 88.78ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,251ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 42% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ආහාර, පාන වර්ග සහ දුම්කොළ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 674ක සහ රුපියල් මිලියන 506ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 612