අවුරුදු නිවාඩුවට පසු පළමු දිනයේදීත් ඉහළ ගැනුම්බරතාවක්

අද (අප්‍රේල් 15දා) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු පිට පිට 8 වැනි අවස්ථාවටත් ඉහළ ගැනුම්බරතාවක් සහිතව ක්‍රියාත්මක වූ බව කොටත් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම බොහෝ ආයෝජකයන් සමාගම් කිහිපයක් තුළ ලාභ ලබා ගැනීම් වෙත යොමුවීමක් දක්නට ලැබුණු බවද එම සමාගම් සඳහන් කරයි. කෙසේ වෙතත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම තවදුරටත් අවප්‍රමාණයවීම වෙළෙඳ පොළ ඉහළ වර්ධනයක් සඳහා බලපෑම් එල්ල කර තිබේ.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,591.90ත් ඒකක 7,666.01ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,644.38ක් බවට පත්විය. එය අවසන් ගනුදෙනු දිනය වූ අප්‍රේල් 12 දිනයට සාපේක්ෂව ඒකක 86.10 ක් එනම් +1.14%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පිඑල්සී, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව සහ සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් යන සමාගම් අතර සිදු වූ ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 5.5%ක දායකත්වයක් ලබා දී ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 111ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 68ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+26.9), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+9.8), වැලිබල් වන් පිඑල්සී VONE (+6.8), බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (+6.6), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+5.8), ලයන් බෘවරි සිලෝන් පීඑල්සී LION (-5.2), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-4.5), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-3.2), සම්පත් බැංකුව SAMP (-2.4), ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (-1.0) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,079.86ක අගයක් ගත් අතර, එය පසුගිය 12 වැනිදාට සාපේක්ෂව ඒකක 15.21 ක එනම් +0.50%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.72ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය අප්‍රේල් 12 වාර්තා කළ රුපියල් බිලියන 3.51ට සාපේක්ෂව 34% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.35ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 13.09%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 182.10ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 445.72ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 263.62කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 20.32ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේලීස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 22.24 කි. එසේම කොමර්ෂල් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 121.8ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,651ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 35% ක අගයක් ගෙන තිබේ. ආහාර, පාන වර්ග සහ දුම්කොළ සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 948ක සහ රුපියල් මිලියන 707ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 287