ආයෝජකයන් සොයා රාජ්‍ය ඇමති කබ්රාල් මහ බැංකු නිලධාරීන් සමග ඕමානයට සහ කටාරයට

මෙරට තුළ සිදු කළ හැකි ආයෝජන සම්බන්ධයෙන් ඕමානයේ සහ කටාරයේ රාජ්‍ය ප්‍රධානීන් සහ ආයෝජකයන් දැනුවත් කිරීම සඳහා පසුගිය දින කිහිපයේදීම එම රටවල සංචාරයක නිරත වූ බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

ඒ අනුව මෙම සංචාරයේදී රාජ්‍ය අමාත්‍යවරයා පළමුවෙන්ම හමුවී ඇත්තේ ඕමානයේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගිතා කටයුතු පිළිබඳ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සයිඩ් අසාද් බින් තාරික් අල් සයිඩ් මහතාය. එහිදී දෙරට අතර වෙළෙඳ සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත. මෙම අවස්ථාව සඳහා ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වර්ඩ්ද සහභාගි වී තිබේ.

අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා ඕමානයේ මස්කට් බැංකුවෙහ් ප්‍රධාන විධායක නිලධාරී ෂෙයික් වලීඩ් කමීස් අල් හෂාර් හමුවී තිබේ. එහිදී ශ්‍රී ලංකා බැංකුවල අනාගත සහයෝගිතාව පිළීබඳව මස්කට් බැංකුව සමගින් සාකච්ඡා කළ බව රාජ්‍යඅමාත්‍ය කබ්රාල් පවසයි.

කොරෝනා වසංගතය ආරම්භයෙන් පසු ඕමානයේ සංචාරය කළ පළමු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත කණ්ඩායම වූයේද මෙම ලංකා දූත පිරිස වන අතර, මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව සහ කොමර්ෂල් බැංකුවේ ඉහළ නිලධාරීන් සහභාගි වී තිබේ.

මේ අතර මෙම සංචාරයේදී රාජ්‍ය අමාත්‍යවරයා ඕමානයේ මුදල් ලේකම් අබ්දුල්ලා බින් සලීම් බින් අබ්දුල්ලා බින් අල් හාර්තිද හමු වී ඇත. එසේම ඕමාන ආයෝජන අධිකාරියේ සහ ඕමාන ධීවර සංවර්ධන අධිකාරියේද ඉහළ නිලධාරීන් සමග ඉතා ඵලදායී සාකච්ඡාවක් පැවැත්වීමට හැකි වූ බවද රාජ්‍ය අමාත්‍ය කබ්රාල් පවසා සිටියි.

එහිදී ආයෝජන හා සංවර්ධනය කේන්ද්‍ර කරගනිමින් පැවැත් වූමෙම සාකච්ඡාවට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ්, මහ බැංකු නියෝජ්‍ය අධිපති නානායක්කාර ඇතුළු නිලධාරීන්ද සහභාගි වී තිබේ.

එසේම ඕමාන් මහ බැංකුවේ විධායක සභාපති තාහිරි අල් අම්රි සහ ඕමාන් මහ බැංකුවේ ඉහළ නිලධාරීන් සමගද ඉතා ඵලදායී සාකච්ඡාවක් පැවැත් වූ බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඕමාන් මහ බැංකු පරිශ්‍රයේදී මෙම හමුව පැවැත් වී තිබේ.

මෙම සංචාරය යටතේ රාජ්‍ය අමාත්‍යවරයා කටාර ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අක්බාර් අල්-බේකර් සමගින්ද සාකච්ඡා කර තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ සිදු කළ හැකි ආයෝජන අවස්ථා පිළිබඳවත්, එකිනෙකාගේ සහයෝගිතාවන්ට අනෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ලබා දීම සහ ශ්‍රී ලංකාවට ඍජු විදේශ ආයෝජන සඳහා පහසුකම් සැලසීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරී තිබේ. කටාර්හි ශ්‍රී ලංකා තානාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ද මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.

එසේම කටාර්හි දෝහා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සීතාරාමන් සමගද ඵලදායි සාකච්ඡාවක නිරත වීමට හැකියාව ලැබුණු බව රාජ්‍ය අමාත්‍ය කබ්රාල් පවසයි. ශ්‍රී ලංකාව තුළ දෝහා බැංකු ශාඛාවක් ආරම්භ කිරීම ඇතුළු නව වැඩසටහන් කිහිපයක් පිළිබඳවද සාකච්ඡා කෙරී ඇත.

එසේම දෙරට් බැංකු අංශ අතර ඇති සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරගනිමින් අන්‍යෝන්‍ය සහයෝගිතාව වර්ධනය කරගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.

මේ අතර කටාර් රාජ්‍යයේ මුදල් අමාත්‍ය අල් ෂරීෆ් අල් ඒමදි සහ මහ බැංකුවෙහි අධිපති ෂෙයික් අබ්දුල්ලා බින් සෞද් අල් තානි සමගද රාජ්‍ය අමාත්‍යවරයා සාකච්ඡා පවත්වා තිබේ. එහිදී ඍජු විදේශ ආයෝජන සඳහා ශ්‍රී ලංකා රජය ලබා දෙන සහන සහ ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින ආයෝජන හිතකාමී පරිසරය පිළිබඳව මෙහිදී ඔවුන් දැනුවත් කෙරී ඇත.

එසේම දෙරටේ මූල්‍ය ක්ෂේත්‍රය අතර අන්‍යෝන්‍ය සහයෝගිතාව ශක්තිමත් කරගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණක් වූ බවද පැවසෙයි.

මේ අතර සුපිරි වෙළෙඳසැල් සහ සිල්ලර වෙළෙඳ සැල් දාමයක් පවත්වාගෙන යන බහු ජාතික සමාගම් සමූහයක් වන ලූලූ ව්‍යාපාර සමූහයේ අධ්‍යක්ෂක මොහොමඩ් අල්තාෆ් සමග සුහද සාකච්ඡාවක නිරත වූ බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. වරාය නගර ව්‍යාපෘතියද ඇතුළුව ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති නව ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට පැමිණෙන ලෙස ඔහුට ආරාධනා කිරීමක්ද කබ්රාල් මහතා විසින් සිදු කර තිබේ.

මීට අමතරව කටාර් රාජ්‍යයේ පරිපාලන සංවර්ධන, කම්කරු සහ සමාජ කටයුතු පිළිබඳ අමාත්‍ය යුසුෆ් මොහොමඩ් අල් ඔත්මන් සමගද ඵලදායී සාකච්ඡාවක් සිදු කිරීමට හැකියාව ලැබුණු බව අමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලාංකික කම්කරුවන් විශාල ප්‍රමාණයක් කටාර් රාජ්‍ය තුළ සේවය කරන අතර විදේශ රටවල් සඳහා පුහුණු ශ්‍රමිකයන් පමණක් යැවීම සඳහා නව රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

එමෙන්ම කටාර් රාජ්‍යය තුළ ඇති නව රැකියා අවස්ථා සඳහා පුහුණු ශ්‍රමිකයන් යොමු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරී ඇත. කටාර්හි ශ්‍රී ලංකා තානාපති මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ද මෙම සාකච්ඡාවට එක්ව සිට ඇත.

Visits: 497