27 දා Empower පුවරුවෙහි ලැයිස්තුගත වන මොකක්ද මේ Chrissworld

කොළඹ කොටස් හුවමාරුවෙහි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ලැයිස්තුගත කිරීම සඳහා වන Empower පුවරුවෙහි ලැයිස්තුගත වන පළමු සමාගම බවට සීමාසහිත Chrissworld පෞද්ගලික සමාගම නම් කෙරී තිබේ. ඒ සඳහා වන අනුමැතිය මේ වනවිටත් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වෙතින් සහ කොළඹ කොටස් හුවමාරුව වෙතින් එම සමාගම වෙත හිමිව ඇත.

මෙරට පිහිටි තෙවැනි පාර්ශ්වයේ භාණ්ඩ ප්‍රවාහන සමාගමක් (3PL – Third Party Logistic) ලෙස Chrissworld සමාගම මෙම ලැයිස්තුගතවීම සඳහා ඉදිරිපත්ව සිටියි. සමාගම සඳහන් කරන ආකාරයට මෙම ලැයිස්තුගතවීමට අදාළව සිදු කරන මූලික මහජන කොටස් නිකුතුවේදී සිය සමාගමෙහි කොටස් අතරින් 25% ප්‍රතිශතයක් එනම් කොටස් මිලියන 7.5ක් නිකුත් කිරීමට නියමිතව ඇත.

ලබන අප්‍රේල් 27 වැනිදා මෙම ලැයිස්තු ගතවීම සිදු වීමට නියමිතව තිබේ. මෙහිදී එක් කොටසක් රුපියල් 7.50 බැගින් මිල කෙරී ඇති අතර, නිකුතුව හරහා රැස් කිරීමට බලාපොරොත්තු වන සමස්ත වටිනාකම රුපියල් මිලියන 56.25 කි. මෙම මුදල් හරහා සිය භාණ්ඩ ප්‍රවාහන ව්‍යාපාරය පුළුල් කිරීම සහ නවීකරණය කිරීම සහ දැනට පවතින ණය පියවීම අරමුණ බව සමාගම සඳහන් කර තිබේ.

මෙම Chrissworld පෞද්ගලික සමාගමේ සභාපතිවරයා වන්නේ එහි විධායක අධ්‍යක්ෂවරයා වන ක්‍රිස්ටෝ පෙරේරා මහතාය. එහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස නිරංජන් සුරාජ් මහතා කටයුතු කරයි.

Chrissworld සමාගමෙහි මවු සමාගම වන්නේ සීමාසහිත Chrisslogix සමාගමයි. ඒ අනුව මේවනවිට සමාගමෙහි 96.66%ක සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ප්‍රතිශතයක් හිමිව ඇත්තේ එම සමාගම වෙතයි.

මේ අතර 2021 දෙසැම්බර් 31 වැනිදාට පෙර කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවී රජය සිය 2021 අයවැය හරහා ඒ සම්බන්ධයෙන් ලබා දෙන බවට පෙරොන්දු වී තිබෙන බදු සහනය හිමි කරගැනීමත් සමාගමේ අරමුණ වී ඇතැයි පැවසෙයි.

2012 වසරේදී පිහිටවුණු Chrissworld සමාගම තෙවැනි පාර්ශ්වයේ භාණ්ඩ ප්‍රවාහන සේවා සපයන සමාගමක් ලෙස පසුගිය වසර කිහිපයේදීම ක්‍රියාත්මකවිය. මෙහිදී එකිනෙකට වෙනස් කර්මාන්ත අංශ වෙතමෙන්ම තනි පුද්ගලයන් වෙතත් අවශ්‍යතාව අනුව ගුදම් පහසුකම්, භාණ්ඩ ලේඛන කළමනාකරණය, බෙදාහැරීම/ප්‍රවාහනය සහ අගය එකතු කළ සේවා යනාසි වෘත්තීමය සේවා සැපයීම සිදු කර තිබේ.

අද වනවිට Chrissworld සමාගම සතුව බස්නාහිර පළාත තුළ පමණක් වර්ග අඩි 500,000කට ආසන්න භූමි ප්‍රමාණයක් සහිත ගබඩා පහසුකම් ඒකක 13ක හිමිය. එහිදී Chrissworld සමාගම සේවා සපයන ප්‍රධාන සමාගම් වන්නේ දුරකතන සන්නිවේදන, නිෂ්පාදන, රෙදිපිළි සහ ඇගලුම්, ඖෂධ සහ කෘෂිකාර්මික සමාගම්ය.

එසේම අදවනවිට එමසමාගම මෙරට තුළ වෘත්තීමයමය ගබඩා පහසුකම් විසඳුම් ලබා දෙන මුල් සමාගම් පහ අතරද පවතී. එසේම ඉදිරියේදී අංග සම්පූර්ණ සේවා සැපයීමක් වෙතත් යොමුවීමට සමාගම ඉලක්ක කරගෙන සිටියි.

එහිදී මෙම මූලික මහජන කොටස් නිකුතුව හරහා හිමිවන රුපියල් මිලියන 56.25න් රුපියල් මිලියන 15ක් වියදම් කරමින් සිය ගබඩා වෙත භාණ්ඩ ඇසුරුම් කිරීමේ රාක්ක පද්ධතියක් ස්ථාපිත කිරීම සැලසුම වී ඇත. එසේම රුපියල් මිලියන 6ක් යොදවමින් ගබඩාවන්හි මෙහෙයුම් සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිලදී ගන්නා බවත් පවසයි. මීට අමතරව රුපියල් මිලියන 6.5ක් යොදවමින් එහාමෙහා ගෙනයා හැකි රාක්ක මිලදී ගැනීමටත් සැලසුම් කෙරී ඇත. තවත් රුපියල් මිලියන 2.5ක මුදලකින් නව ගබඩා කළමනාකරණ පද්ධති මෘදුකාංගයක් මිලදී ගැනීමත් සැලසුම් අතර පවතී.

මේ අතර සමාගම සතුව දැනට පවතින රුපියල් මිලියන 9.6ක් පමණ වන ණය පියවීමක්ද මෙම මුදල් හරහා සිදු කිරීම සැලසුම වී ඇත. එසේම මෙම වියදම් සියල්ලගෙන්ම පසුව ඉතිරිවන රුපියල් මිලියන 14.2 සමාගමේ ඉදිරි කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවන් වෙනුවෙන් යොදවා ගන්නා බවත්  Chrissworld සමාගම සඳහන් කර තිබේ.

සමාගම නිකුත් කර ඇති මූල්‍ය වාර්තාවලට අනුව 2021 මූල්‍ය වර්ෂයේ පළමු මාස 10 තුළදී සමාගමේ ආදායම රුපියල් මිලියන 201කි. එසේම බදු පසු ලාභය ලෙස රුපියල් මිලියන 7.8ක් සටහන්ව ඇත. එසේම 2020 මූල්‍ය වර්ෂය අවසන් වනවිට සමාගමේ සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 90.6ක් ලෙස සටහන්ව ඇති අතර 2021 ජනවාරි 31 වැනිදා වනවිට එය රුපියල් මිලියන 105ක් දක්වා වර්ධනය වී ඇතැයිද සටහන්ව ඇත.

සිය සමාගම සම්බන්ධයෙන් අදහස් දක්වන ක්‍රිස්ටෝ පෙරේරා මහතා, “අපිට අවශ්‍යයි Chrissworld  මීළග වර්ධනීය අවස්ථාව වෙත රැගෙන යන්න. භාණ්ඩ ප්‍රවාහනය කියන්නේ ප්‍රාග්ධනය මූලික කරගත්ත ව්‍යාපාරයක්. ඒ වගේම වෘත්තීයමය ගබඩා විසඳුම් ලබාදීම හරහා වර්ධනයක් ලබා ගත හැකි ක්ෂේත්‍රයක්.” යනුවෙන් පවසා සිටියි.

ක්‍රිස්ටෝ පෙරේරා සිය සමාගම ආරම්භ කිරිමට පෙරාතුව හේලීස් සමාගමෙහි වසර 20කට අධික කාලයක් සේවය කර ඇතැයි පවසයි. අද වනවිට Chrissworld සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සකස් වී ඇත්තේ ක්‍රිස්ටෝපර් පෙරේරා (සභාපති, විධායක අධ්‍යක්ෂ), නිරංජන් සුරාජ් (කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී), සිතිරා වික්‍රමසේකර (ජ්‍යෙෂ්ට විධායක අධ්‍යක්ෂ), ෂානක ලංකාසර (විධායක අධ්‍යක්ෂ), ඩිලාන් නානායක්කාර (විධායක නොවන ස්වාධීන නොවන අධ්‍යක්ෂ), මෙලන්ග ඒ දූල්වල (විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂ) සහ රොහාන් ලද්දුවහෙට්ටි (විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂ) යන මහත්ම මහත්මීන්ගෙනි.

Visits: 620