ඩයලොග් සිය MyDialog App වැඩසටහන CSE App වැඩසටහන හා සම්බන්ධ කිරීමට යයි

ඩයලොග් ආසිආටා සමාගම තම පාරිභෝගිකයන් හට කොළඹ කොටස් හුවමාරුව (CSE) හා ගනුදෙනු සිදු කිරීම් පහසු කිරීමේ අරමුණින් CSE ඇප් වැඩසටහන සිය MyDialog ඇප් වැඩසටහන හා සම්බන්ධ කිරීමට කටයුතු සැලසුම් කරමින් සිටින බව මාධ්‍ය වාර්තා පවසයි.

The Morning පුවත්පත සිය පුවතක් හරහා මේ පිළිබඳව කරුණු අනාවරණය කර සිටියි.

මේ සම්බන්ධයෙන් පුවත්පත කළ විමසීමකට පිළිතුරු දී ඇති කොළඹ කොටස් හුවමාරුවෙහි නියාමකයා වන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න මහතා, සිය ආයතනයෙන් මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ ඩයලොග් සමාගම බව පවසා තිබේ.

විශේෂයෙන්ම ඩයලොග් සමාගම සතු සුවිශේෂී පාරිභෝගිකයන් සංඛ්‍යාව අනුව සලකා බලා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මේ සඳහා අනුමැතිය ලබා දීමක් සිදු කළ බවත් ඔහු මෙහිදී සඳහන් කර තිබේ.

“ඔවුන්ගේ මෙම MyDialog වේදිකාව තුළ බොහෝ සේවාවන් පවතිනවා. වෙළෙඳ පොළ ගනුදෙනුත් ඒ එක් සේවාවක් බවට පත් වේවි. මෙහිදී එම කටයුතු ආරම්භ කිරිම සඳහා උපරිම සහ අවම ගනුදෙනු ප්‍රමාණයක් පිළිබඳව මෙන්ම අවශ්‍ය අනෙකුත් කාරණා පිළිබඳව සැබැවින්ම තීරණය කළ යුත්තේ එම සමාගමයි.” යනුවෙන් සභාපතිවරයා මෙහිදී පවසා ඇත.

කෙසේ වෙතත් මෙම කටයුත්තේ මූලිකත්වය ඩයලොග් සමාගම විසින් ගනු ලැබූවද, මේ හා සමාන වේදිකාවක් සහිත වෙනත් ඕනෑම සමාගමක් හෝ ව්‍යාපාරයක් වෙත සිය පාරිභෝගිකයන් හා CSE ඇප් වැඩසටහන සම්බන්ධ කළ හැකි බවද දයාරත්න මහතා මෙහිදී අවධාරණය කර තිබේ.

ඔහු පවසන ආකාරයට මෙම පියවරේ මූලික අරමුණ වන්නේ කොළඹ කොටස් හුවමාරුවෙහි ආයෝජක පදනම තවදුරටත් පුළුල් කරගැනිමයි. එහි දී විශේෂයෙන්ම දුරකතන සන්නිවේදන සමාගම සතු සුවිශේෂී පාරිභෝගික පදනම ඒ සඳහා යොදා ගැනීම සිදු වෙයි.

නව කොරෝනා වසංගතයේ බලපෑමත් සමගින්ම ඇති වූ තත්ත්වය නිසා කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ඩිජිටල්කරණයට ලක්වීම වේගවත් විය. ඒ අනුව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී එහි කටයුතු බොහෝමයක් ඩිජිටල්කරණයට ලක් වූ අතර ආයෝජකයන් හට සිය ගනුදෙනු ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධවීම පහසු කිරිම එහි අරමුණ විය.

එහි මූලික පියවර යටතේ කොළඹ කොටස් හුවමාරුවෙහි කඩදාසි පාදක කරගනිමින් සිදු කරන නිවේදන හෝ අනෙකුත් දෑ සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රොනික මාධ්‍ය හරහා හුවමාරු කිරීම සිදුවිය.

එසේම දෙවැනි පියවර ලෙස කොළඹ කොටස් හුවමාරුව සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව නවතම CSE ජංගම දුරකතන ඇප් වැඩසටහන හඳුන්වා දීම සිදු විය. මෙම වැඩසටහන හරහා අද වනවිට සුදුසුකම් ලත් ආයෝජකයෙකුට කොටස් හුවමාරුවෙහි ප්‍රාදේශීය කාර්යාලයකට හෝ නොගොස් අන්තර්ජාලය හරහා CDS ගිණුමක් විවෘත කරගනිමින් ගනුදෙනු සිදු කිරීම ආරම්භ කළ හැකිය.

Visits: 556