මාවතගම යෝජිත පැල්වත්ත කිරි පිටි නිෂ්පාදනාගාරයට නිලධාරීන්ගේ බාධා?

කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ සැලසුම් කර ඇති ලංකාවේ පිහිටුවන පළමු අපනයනය සඳහා වන කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලාව ඉදිකිරීමට වෙනුවෙන් අක්කර 45ක භූමියක් සඳහා මෙතෙක් අදාළ රජයේ ආයතනවල නිලධාරීන්ගේ අනුමැතියක් හිමිව නොමැති බව පැල්වත්ත ඉන්ඩස්ට්‍රීස් සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා චෝදනා කරයි.

පසුගියදා මාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැති ‘මාධ්‍ය සංවර්ධන හමුව’ වෙත එක්වෙමින් සභාපතිවරයා මේ බව පවසා ඇතැයි මේ පිළිබඳ පුවතක් පළ කරන ඩේලි නිවුස් පුවත් පත පවසයි. විශේෂයෙන්ම රට තුළ දේශීය ව්‍යාපාර ප්‍රචලිත කිරීම සඳහා වත්මන් රජය පොරොන්දු ලබා දුන්නද මේ වනවිට එම කටයුතු සිදු නොවන තත්ත්වයක් පවතින බව ඔහු මෙහිදී පවසා තිබේ.

“මම මේ ව්‍යාපෘති යෝජනාව සම්බන්ධයෙන් අනුමැතිය ලබා ගන්න පසුගිය රජය සමයේ වසර හතරක් බලා ගෙන සිටියා. දැන් මේ රජය යටතේ වසරක් බලාගෙන ඉන්නවා. තවමත් ප්‍රතිඵලයක් නැහැ.” වික්‍රමනායක මහතා මෙහිදී චෝදනා කර තිබේ.

“රජයේ ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ ආකල්පයන් හරි වෙහෙසකර තත්ත්වයට අපිව පත්කරනවා.”

මෙම හමුවේදී සිය සැලසුම් පිළිබඳව තවදුරටත් අදහස් දක්වා ඇති වික්‍රමනායක මහතා, තමන් කුරුණෑගල සිදු කරන මෙම විසිරි වියළි කිරි නිෂ්පාදන කර්මාන්තශාලාව සඳහා රුපියල් බිලියන 1.2ක මුදලක් ආයෝජනය කරන බව පවසා ඇත. එහිදී එම පිටි කළ කිරි චීනය සහ මාලදිවයින ඇතුළු තවත් රටවල් වෙත අපනයනයටත්, ජපානය වෙත බටර් නිෂ්පාදන අපනයනය කිරීමත් සැලසුම බව සඳහන් කර ඇත. මේ හරහා මාසිකව එක්සත් ජනපද ඩොලර් මිලියන 90ක විදේශ විනිමයක් රට වෙත ගෙන ඒමත් සැලසුම වී තිබේ.

‍”අපි තමයි 2006 වසරේදී බුත්තලදී පළමු වැනි විසිරි වියළි කිරි නිෂ්පාදන කර්මාන්තශාලාව ඉදි කළේ. මේ කුරුණෑගල කර්මාන්තශාලාව සඳහා නවීනතම යන්ත්‍ර සූත්‍ර අපි සවි කරනවා. ඒ සඳහා වන අත්තිකාරම් මුදලක්ද දැනටමත් ඩෙන්මාර්ක සමාගමකට අප ගෙවා අවසන්. මට මේ කර්මාන්තශාලාව ඉදිකරලා, යන්ත්‍ර සූත්‍ර පිහිටුවලා කිරි නිෂ්පාදනය කරන්න යන්නේ මාස තුනක් විතරයි. මේ ව්‍යාපෘතිය හරහා නව රැකියා අවස්ථාවන් 200ක් බිහි වෙනවා” වික්‍රමනායක මහතා වැඩිදුරටත් පවසා තිබේ.

මාවතගම පිහිටි මෙම අක්කර 45ක භූමි භාගය තමන් වසර 33ක බදු පදනමක් සඳහා පසුගිය වසර 5ක කාලකයක් පුරා ඉල්ලා සිටින බවත් ඔහු මෙහිදී පවසා තිබේ. එසේම මෙම ඉඩම සම්බන්ධයෙන් කිසිදු පරිසර ගැටලුවක් නොපවතින බවත් ඔහු සඳහන් කරයි.

“මාව එක රජයේ ආයතනයකින් තවත් රජයේ ආයතනයක යවනවා. ආයිත් කලින් ආයතනයටම එවනවා. ඒත් තවමත් අවසන් අනුමැතිය හිමි වෙලා නැහැ. මම මේ කාරණාව කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා සහ කැබිනට් මණ්ඩලයේ තවත් ජ්‍යෙෂ්ට සාමාජිකයන් කිහිප දෙනෙකු ගාවටම අරගෙන ගියා.” සභාපතිවරයා පවසයි.

දේශීය දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය සැප්තැම්බර් මාසයේදී කෙටි කාලීන සහ දිගුකාලීන සැලසුම් පිළිබඳව කරුණු විමසා තිබුණි. එම සැලසුම් හරහා දේශීය කිරි අවශ්‍යතාව රට තුළින්ම සපුරා ගැනීම අරමුණ වී තිබේ.

Visits: 1348