අලිබාබා සමූහයට චීන රජයෙන් ඩොලර් බිලියන 2.75ක දඩයක්

චීනයේ අලිබාබා සමූහයට එරෙහිව යුආන් බිලියන 18ක එනම් ඩොලර් බිලියන 2.75කට ආසන්න වටිනාකමක දඩයක් පැමිණවීමට එරට බලධාරීන් පියවර ගෙන ඇතැයි පවසයි. සමාගම මගින් පවත්වාගෙන ගිය වෙළෙඳපොළ ඒකාධිකාරී ස්වරූපය සහ ඒ සඳහා සිය වෙළෙඳ පොළ ස්ථාවරය අවභාවිතා කිරිමට එරෙහිව මෙම දඩය පමුණුවා තිබේ.

වාර්තා පවසන ආකාරයට මෙම දඩය 2019 වසරේදී අලිබාබා සමූහය විසින් හිමිකරන්නා ලද සමස්ත ආදායමෙන් 4%ක ප්‍රතිශතයක් ගනී.

අලිබාබා සමූහයට අයත් අන්තර්ජාල මූල්‍ය හස්තය වන Ant Group සමාගම මගින් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී චීනයේ සහ හොංකොං කොටස් හුවමාරු තුළදී සැලසුම් කළ ඩොලර් බිලියන 37ක් වටිනා මූලික මහජන කොටස් නිකුතුව සමූහය සම්බන්ධයෙන් වන චීන බලධාරීන්ගේ වැඩි අවධානයක් යොමු වීමට හේතු විය.

එම අවස්ථාවේදී අදාළ මූලික මහජන කොටස් නිකුතුව අත්හිටවූ බලධාරීන් චීනයේ වෙළෙඳ පොළ නියාමනය පිළිබඳ පාලනාධිකාරිය හරහා අලිබාබා සමූහය සම්බන්ධයෙන් විමර්ෂණයක්ද ආරම්භ කළේය.

අලිබාබා සමූහයේ නිර්මාතෘවරයා වන්නේ කලක් ඉංග්‍රීසි ගුරුවරයෙකුව කටයුතු කළ සුප්‍රසිද්ධ ව්‍යාපාරික ජැක්  මාය. චීන බලධාරීන් සමගින් ඇති වූ මෙම අර්බුදයත් සමගින්ම ඔහුද මාස කිහිපයකට ප්‍රසිද්ධ මාධ්‍යයෙන් වසංවද සිටියේය.

මෙම අධිකාරිය මගින් පසුගිය සෙනසුරාදා සිදු කළ නිවේදනයකට අනුව, අලිබාබා සමාගම සිදු කළ බව පැවසෙන ‘වෙළෙඳ පොළ ආධිපත්‍යය අනිසි ලෙස භාවිතා කිරීම’ යන චෝදනා පිළිබඳ කරුණා අනාවරණය වූ බව පවසා ඇත. විශේෂයෙන්ම 2015 වසරේ සිටම එම සමාගම අනෙකුත් අන්තර්ජාල ඉ-වාණිජ වේදිකා වෙත රට තුළ නැගී සිටීම වළක්වමින් කටයුතු කර තිබේ.

ඒ අනුව මෙම තත්ත්වය චීනයේ ක්‍රියාත්මක වෙළෙඳ පොළ ඒකාධිකාරියට එරෙහි නීතිය උල්ලංඝණය කිරිමක් වන බවත් එම පාලනාධිකාරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම දඩය පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇති අලිබාබා සමාගමද එම තීරණය පිළිගන්නා බව පවසා තිබේ. එසේම එම පාලනාධිකාරිය මගින් ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, සාංගමික අනුකූලතාවන් වෙත ලබා දෙන දායකත්වය දියුණූ කිරීමට කටයුතු කරන බවටත් පොරොන්දු ලබා දී තිබේ.

එසේම මෙම දඩය පිළිබඳ තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට දිනයේදී සමුළුවක් සංවිධානය කරන බවත් අලිබාබා සමූහය සඳහන් කර සිටියි.

Visits: 258