Virtual Currencies තුළ ආයෝජනයේ අවදානම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ අතථ්‍ය මුදල් භාවිතය, ආයෝජනය හෝ ගනුදෙනු කිරීම සම්බන්ධ නියාමන ආරක්ෂාවක් නොමැති බවත්, එබැවින් ශ්‍රී ලංකාවේ අතථ්‍ය මුදල් ආයෝජනය කිරීම හෝ භාවිතා කිරීම සැලකිය යුතු අවධානමක් ඇති කරනු ලබන අවස්ථාවක් බවත් මහ බැංකුව නිවේදනයක් මගින් සඳහන් කර සිටියි.

පුද්ගලික ආයතන විසින් නිර්මාණය කරන ලද ඩිජිටල් ටෝකන අතථ්‍ය මුදල් ලෙස හඳුන්වන අතර, පරිගණක තුලින් ජනනය කිරීම (mining) හෝ මූලික කාසි නිකුතුව (Initial Coin Offering) හෝ අත්‍ය මුදල් හුවමාරු කරගන්නා අන්තර්ජාල වෙළෙඳ පොළ (Virtual Currency Exchanges) හරහා හෝ ලබා ගත හැකිය. මෙම අතථ්‍ය මුදල් අප්‍රකාශිත විද්‍යුත් මුදල් (Cryptocurrencies) ලෙසින්ද හැඳින්වෙයි. මේ අතරින් බහුලව භාවිතා වන්නේ Bitcoin ය‍.

මෙහිදී මහ බැංකුව ප්‍රධාන අවදානම් හතරක් පිළිබඳව මහජනයා දැනුවත් කරන බව පවසා සිටියි. විශේෂයෙන්ම අන්තර්ජාතික හා දේශීය වෙළෙඳ පොළවල අතථ්‍ය මුදල් භාවිතය පිළිබඳව මෑතකදී කරන ලද විමසීම් හේතුවෙන් මෙම දැනුවත් කිරීම සිදු කරන බවත් මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව, මෙවැනි ගනුදෙනුවක් සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුවහොත් ආයෝජකයන්ට නියාමන හෝ නිශ්චිත නීතිමය මග පෙන්වීමක් නොමැති වීම, අතථ්‍ය මුදල් වටිනාකම් විශාල වශයෙන් උච්චාවචනයවීම නිසා විශාල පාඩු ලැබීමේ අවදානම, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා මෙම මුදල් යොදා ගැනීමේ අවදානම නිසා මෙම අතථ්‍ය මුදල් මුදල් විශුද්ධිකරණය සඳහාද යොදා ගැනීමට හැකි වීම මෙන්ම විදේශ විනිමය රෙගුලාසි උල්ලංඝණය කිරිමක්ද සිදු විය හැකි බව මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කර සිටියි.

“අත්‍ය මුදල් වල ආයෝජනය කිරීමෙන් පරිශීලකයන්ට මෙන්ම ආර්ථිකයට ඇතිවිය හැකි මූල්‍ය, මෙහෙයුම්, නෛතික, පාරිභෝගික ආරක්ෂාව, සහ ආරක්ෂණය සම්බන්ධ සැලකිය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවනු ලැබේ.” නිවේදනයේ සඳහන් වෙයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව, කිසිදු ආයතනයකට හෝ සමාගමකට අප්‍රකාශිත විද්‍යුත් මුදල් ඇතුළුව අතත්‍ය මුදල් සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගැනීමට බලපත්‍ර ලබා දී හෝ බලය පැවරීමක් කර නොමැති බවත්, කිසිදු ආයතනයකට පරිගණක තැළින් අතත්‍ය මුදල් ජනනය කිරීමට හෝ මූලික කාසි නිකුතුවකට හෝ අත්‍ය මුදල් හුවමාරු කරගන්නා අන්තර්ජාල වෙළෙඳ පොළ සඳහා හෝ බලය පැවරීමක් කර නොමැති බවද ජනතාවට දැනුම් දෙන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

මහ බැංකුවේ මෙම සම්පූර්ණ නිවේදනය මෙසේය.

Visits: 3803