මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය එලෙසින්ම

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යාමට තීරණය කළ බව මහ බැංකුව පවසයි. ඊයේ (අප්‍රේල් 07දා) පැවැති ශ්‍රී ලංකා මහබැංකුවෙහි මුදල් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

අද පෙරවරුවේදී එළිදැක්වුණු මහ බැංකුවෙහි මුදල් ප්‍රතිපත්ති විවරණයට සමගාමීව මහ බැංකුව නිවේදනයක් මගින් මෙම කරුණු දැනුම් දී තිබේ.

ඒ අනුව මෙම නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය අනුපාතයන් පිළිවෙලින් 4.50%ක් සහ 5.50%ක් ලෙස දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යන බව මහ බැංකුව පවසයි.

“දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික තත්ත්වයන් සහ, අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹුණි.” යනුවෙන් මහ බැංකුව මෙහිදී සඳහන් කරයි.

එහිදී අඩු උද්ධමන වාතාවරණයක් තුළ සහ මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂා මධ්‍යයේ, අඩු පොලී අනුපාතික ව්‍යුහයක් පවත්වාගෙන යෑම සහ එමගින් ආර්ථිකය තිරසාර ලෙස යථා තත්ත්වයට පත්වීම සඳහා අඛණ්ඩව සහාය වීම සහතික කිරීම සඳහා මුදල් මණ්ඩලය කැපවී සිටින බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසා සිටියි.

“මේ අතර මුදල් මණ්ඩලය විසින් 2020 වසර අවසානය වන විට අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ ආර්ථික වර්ධනයක් නිරීක්ෂණය කළ බවත්, ඉදිරි කාලයේදී ආර්ථිකය තිරසාර ලෙස යථා තත්ත්වයට පත්වීම සඳහා සහාය වීමට දැනට පවතින අඩු පොලී අනුපාතික ව්‍යුහය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවත් අවධාරණයකර තිබේ.” මහ බැංකු නිවේදනයේ සඳහන් වෙයි.

එසේම නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණරාමුව යටතේ ඉලක්කගත සියයට 4ත් 6ත් අතර පරාසයක උද්ධමනය පවත්වා ගනිමින් ආර්ථිකය තිරසාර ඉහළ වර්ධන මාවතකට ළගාවීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමටද මහ බැංකුව සූදානමින් සිටින බවත් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 163