කටුනායක ගුවන්තොටුපළට Google Indoor Maps හඳුන්වාදෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ (BIA) Google Indoor Maps හඳුන්වා දීම අද (8) දිනයේදිී සිදු කෙරිණි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ගෘහස්ත සිතියම් තාක්ෂණය හඳුන්වාදුන් පළමු ස්ථානය බවටද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පත්ව තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සේවය සහ ගුවන්තොටුපල සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ තොරතුරු තාක්ෂණ කණ්ඩායම් එක්ව මෙම ගූගල් ගෘහස්ථ සිතියම් සක්‍රීය කළ බව පවසයි ඕනෑම ඇපල් හා ඇන්ඩ්‍රොයිඩ් උපාංග, ස්මාර්ට් ජංගම දුරකථන සහ ටැබ් උපකරණ මගින් ‍මේ සඳහා ප්‍රවේශ විය හැක.

මෙම Google Indoor Maps හරහා මගීන් සහ අමුත්තන්ට ඔවුන්ගේ ගමන ආරම්භ කිරීමට හෝ ගුවන් තොටුපළට පැමිණීමට පෙර සිටම ගමන් මාර්ගයන් සොයා ගැනීමට පහසුකම් ලබා දෙයි.

ශ්‍රීලංකන් ගුවන් සේවය, BIA හි බලයලත් භූමි හසුරුවන්නා වන අතර ගුවන්තොටුපල ක්‍රියාකරු ලෙස AASL සමාගම මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ මගීන්ට නැවුම් අත්දැකීමක් ලබා දිය හැකිවේ යන දැඩි විශ්වාසයෙන් ය.

AASL සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ‍ චන්ද්‍රසිරි සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ යන මහත්වරුන් විසින් මෙය ක්‍රියාත්මක කිරීම සඳහා මූලිකත්වය ගන්නා ලදී.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා “Google Indoor Maps භාවිත කිරීමෙන් පරිශීලකයින්ට ගුවන්තොටුපල තුළ ගොඩනැගිලි නාමාවලිය සොයා ගැනීම පහසු වෙනවා මෙන්ම ඔවුන්ගේ අත්දැකීම් වැඩිදියුණු කරගැනීමටත් හැකියාව ලැබෙනවා. මෙම නව අංගය හරහා මගීන්ට ඔවුන්ගේ ගුවන් ගමන් දොරටුව, පර්යන්තය, ගමන් මලු ඉල්ලීම හා ටිකට්පත් කවුන්ටරය වෙත නියමිත වේලාවට යාමට වඩාත් පහසුවෙනවා.” යනුවෙන් පැවසීය.

AASL සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ‍ චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ නව ගෘහස්ථ ගූගල් සිතියම් හරහා මගීන්ට සංකීර්ණ ගෘහස්ථ ස්ථාන සමඟ ගුවන්තොටුපළ පහසුවෙන් ගවේෂණය කිරීමට උදව් වනු ඇති බවයි. එසේම ඔවුන් පළමු වරට ගුවන් තොටුපළට පැමිණීමෙන් පසු එම පරිශ්‍රය තුළ සැරිසැරීමට පහසුම හා ඉක්මන්ම මාර්ගය සොයා ගැනීමට හැකියාව ලැබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා “පළපුරුදු සහ නවක සංචාරකයින් ගුවන් තොටුපල තුළ සංචාරය කිරීමේ දී ඔවුන් සතුව මෙම තාක්ෂණය තිබීම ඉතාම වැදගත්. ගූගල් ගෘහස්ථ සිතියම් තුළින් මාර්ග සොයාගැනීමෙන් ඔබ්බට යෑමක් ද සිදුවෙනවා. එනම් ගෘහස්ථ ස්ථානගත කිරීමේ තාක්‍ෂණය ක්‍රියාත්මක කිරීමෙන් හා අන්තර් සම්බන්ධ වීමෙන් ඔබට ගුවන්තොටුපළේ සිටියදී සංචාරකයින් සමඟ සම්බන්ධ විය හැකිය. ” යනුවෙන් පැවසීය.

Visits: 63