ෆින්ලේස් වතු සමාගමේ කාන්තාවන් දෙදෙනකු වසර 154ක් පැරණි ඉතිහාසය වෙනස් කරයි

කෘෂිකර්මාන්තය හා වැවිලි කර්මාන්තය කාන්තාවන් තීරණාත්මක කාර්යභාරයක් සිදු කරන ක්ෂේත‍්‍රයන් අතර ඉදිරියෙන්ම සිටී. ඒ කෙසේ වෙතත් එම ක්ෂේත‍්‍රයන්වලදී පවා කාන්තාවන් වැඩි වශයෙන් කළමනාකාරීත්වයට නොව වැඩ බිම්වල කටයුතුවලට පමණක් සීමා වී තිබීම දැකිය හැකිය. නමුත් කලාපීය වැවිලි සමාගම්වලට (RPCs) අයත් ෆින්ලේස් වතු සමාගමේ (Finlays Tea Estates) ප‍්‍රයත්නයට ස්තූතිවන්නට සාම්ප‍්‍රදායිකව පුරුෂ ආධිපත්‍යයක් දැකිය හැකි තේ කර්මාන්තය තුළ පවා මේ වන විට පරිනාමයක් සිදු වෙමින් පවතී.

එක් කාණ්ඩයකට පමණක් ලේබල්ගත වී සිටින වතුකරයේ කාන්තාවන්ගේ ඉරණම වෙනස් කිරීමේ අභියෝගය තෝරාගත් ෆින්ලේස් 2025 වන විට සමාගමේ කළමනාකාරීත්වයේ තනතුරු සඳහා 30‍%ක කාන්තා නියෝජනයක් ලබා ගැනීමට අරමුණු කරයි. මෙම ඉලක්කය සාක්ෂාත් කරගැනීම සඳහා සමාගම මෙම තනතුරුවලට කාන්තාවන් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති අතර සමාගමේ සහකාර වතු අධිකාරිනියන් වන පිරියන්ති මගේස්වරනාදන් හා නවෝදා විජයාංගනී යන දෙදෙනාගෙන් දැනටමත් මෙහි සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීමට සමාගම සමත් වී තිබීම කැපී පෙනේ.

හණමිටි අදහස්වලින් බැහැර වීම – කාන්තාව යනු බහුවිධ හැකියාවන්ගෙන් යුතු පුද්ගලයෙකි
පුරුෂ ආධිපත්‍යයෙන් යුතු යාපනයේ සාම්ප‍්‍රදායික සමාජමය හා පවුල් පසුබිමක් තුළ කුඩා කල පටන් හැඳි වැඩුනු පිරියන්ති අභියෝග හමුවේ කිසිවිටකත් නොසැලූනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකාර්මික තාක්ෂණය පිළිබඳ උපාධිධාරිනියක වන පිරියන්ති ෆින්ලේස් විසින් තම විශ්වවිද්‍යාලයේ වතු කළමනාකරණ ආධුනිකයින් සඳහා දැන්වීමක් පළ කර තිබෙනු දැකීමෙන් පුදුමයට පත් වූවාය. කාන්තාවන්ට ද අයදුම් කරන ලෙස ඉල්ලා තිබීම එහි තිබූ විශේෂත්වය විය.

‘‘මා විශ්වවිද්‍යාලයේ සිටි කාලයේදී මෑතකාලීනව මා දැක තිබූ වඩාත් තාක්ෂණික දියුණුවක් සහිත ව්‍යාපාරයක් ලෙස කෘෂිකාර්මාන්තයේ පැවති සුවිශේෂීතාවය මා පුදුමයට පත් කළා. නමුත් ප‍්‍රායෝගිකව වතුකරයේ සංස්කෘතියට හා ක‍්‍රියාවලීන්ට මෙන්ම වතු සමාගමක කළමනාකරණ මට්ටමකට අවශ්‍ය වැඩ කටයුතුවලට හැඩගැසීමට මට යම් කාලයක් ගත වුනා. නමුත් මිනිසුන් එවැනි වැඩ කටයුතු කාන්තාවන් සමඟ සහයෝගයෙන් කිරීමට අකැමති වීම නිසා එය ඇත්තෙන්ම අසීරු අභියෝගයක් වුනා. එනිසා  ඕනෑම ව්‍යාපාරයක් සාර්ථක කරගැනීමට අපටත් හැකියාවක් ඇති බව මටත් අනෙක් කාන්තාවන්ටත් ඔප්පු කර පෙන්වීමට මට අවශ්‍ය වුනා.’’ යනුවෙන් පිරියන්ති පැවසුවාය.

ෆින්ලේස් වතු සමාගමේ වතු අධිකාරී රිචඞ් ඔල්මස් මහතාගේ මඟ පෙන්වීම යටතේ නිව්බර්ග් වතුයායේ මාස 6 ක මූලික පුහුණුවෙන් පසුවල වැල්ඩමාර් වතුයායේ සහකාර වතු අධිකාරිනියක ලෙස සිය පළමු පත්වීම ලැබීමට පෙර පිරියන්ති එම වැඩ කටයුතු ඉක්මනින් ඉගෙන ගත් අතර ඇය දැන් වසරකට වැඩි කාලයක් එහි සේවය කරමින් සිටී.

විද්‍යාව හා දැනුම පිළිබඳව ඇති දැඩි ඇල්ම
විශ්වවිද්‍යාල සිසුවියක ලෙස පුහුණු වීම්වල සිටි අතරතුර උඩරට කඳුකර ප‍්‍රදේශයට ඇති වූ දැඩි ඇල්ම නිසා අහම්බෙන් මෙම ක්ෂේත‍්‍රයට පිවිසි නවෝදා විජයංගනී මේ වන විට ෆින්ලෙස් ඇනික් වතුයායේ සහකාර වතු අධිකාරිනියක ලෙස සේවය කරයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කෘෂිකර්මය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හැදෑරීමට පෙර ඇය ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුවියක්ව සිටියදී තේ තාක්ෂණවේදය හා අගය එකතු කිරීම පිළිබඳව හැදෑරුවාය. ඉන්පසුව ඇය තේ පර්යේෂණ ක්ෂේත‍්‍රයට සම්බන්ධ විය. පසුව ඇයට ද ෆින්ලෙස් හි වතු කළමනාකරණ ආධුනිකයින් සඳහා කාත්නාවන් බඳවා ගැනීම පිළිබඳව දැනගැනීමට ලැබුනු අතර ඉතා ඉක්මනින් සමාගමේ කළමනාකරණ පුහුණු වැඩසටහන හා සම්බන්ධ විය.

‘‘කඳුකරයට හා එහි ඇති දේශගුණයට මගේ ඇති දැඩි ආදරය නිසාම තේ පිළිබඳව මා තුළ තිබුණේ දැඩි කැමැත්තක්. වාණිජ තේ වගාව වටා ඇති විද්‍යාත්මක පසුබිම හරිම ආකර්ෂණීය බව මට සැමවිටම වැටහී ගියා. ෆින්ලේස් කාන්තා බඳවා ගැනීම් සිදු කරන බව මා දැනගත් විට ඒ කුමන තනතුරටදැයි පවා මා කිසිවක් දැන සිටියේ නෑ. මට අවශ්‍ය වූයේ තේ කර්මාන්තය හා ඍජුව සම්බන්ධ වීමට අවස්ථාවක් ලබා ගැනීමටයි. ඒවගේම කාන්තාවන් සාම්ප‍්‍රදායිකව මෙම ක්ෂේත‍්‍රයට පැමිණෙන්නේ නැති බව ද මා දැන සිටි අතර එම මතයට අභියෝග කළ හැකි පුද්ගලයන්ගෙන් පළමුවැන්නා මා විය හැකි බව මට හැඟී ගියා.’’ යනුවෙන් නවෝදා සඳහන් කළාය.

අද වන විට ඇය පුද්ගලයින් 130 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කළමනාකරණය කරන ඇනික් වතුයායට පත් වූ පළමු කාන්තා සහකාර වතු අධිකාරිනියයි.

Visits: 114