මාසයේ දෙවැනි දිනටත් සාර්ථක ගනුදෙනු අවස්ථාවක්

අප්‍රේල් මාසයේ දෙවැනි දිනය සඳහා ගනුදෙනු සිදු වූ අද (අප්‍රේල් 05දා) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි දර්ශක අගයන් තුළ තවදුරටත් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කෙරිණි. විශේෂයෙන්ම නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශයේ සමාගම් සඳහා වන ආයෝජන ආකර්ෂණය වැඩි වූ බවත් කොටස් තැරැව්කාර සමාගම් පවසයි. කෙසේ වෙතත් ලාභාංශ ගෙවීමෙන් අනතුරුව ආයෝජකයන් ලාභඉපැයීම් වෙත යොමු වීම නිසා බැංකු අංශයේ පසුබෑමක් පෙන්නුම් කෙරිණි. එසේම එයද විශාල සමාගම් වෙත බලපෑ බව එම සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,209.33ත් ඒකක 7,257.00ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,217.83 ක් බවට පත්විය. එය පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් 01) දිනයට සාපේක්ෂව ඒකක 24.55 ක් එනම් +0.34%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව ටීජේලංකා පීඑල්සී තුළ සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුමෙන් 13%ක් සඳහා දායකත්වය ලබා දී ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 94ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 70ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ හේලීස් පීඑල්සී HAYL (+6.87), හේකාර්බ් පීඑල්සී HAYC (+5.44), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා DIST (+5.26), ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී DIPD (+3.01), වැලිබල් වන් පීඑල්සී VONE (+2.87), සම්පත් බැංකුව SAMP (-2.88), කොමර්ෂල් බැංකුව COMB (-2.32), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.87), එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී SPEN (-1.86), හැටන් නැෂනල් බැංකුව HNB (-1.69) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,874.30ක අගයක් ගත් අතර, එය පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් 01) දිනයට සාපේක්ෂව ඒකක 6.58 ක එනම් +0.23%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.1ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් 01) වාර්තා කළ රුපියල් මිලියන 1.54ට සාපේක්ෂව 36% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.15ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 6.51%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 294.19ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 638.04ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 343.85කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 18.40ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ස්විස්ටෙක් සිලෝන් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 6.06 කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 85.68ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 560ක් සඳහා නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 27% ක අගයක් ගෙන තිබේ. ආහාර, ප්‍රාග්ධන භාණ්ඩ සහ පාරිභෝගික භාණ්ඩ සහ ඇගලුම් අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 484ක සහ රුපියල් මිලියන 292ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 224