විදුල්ලංකා සිය වහලමත සවි කළ දෙවැනි සූර්ය පැනල ව්‍යාපෘතියත් නිම කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සමාගමෙහි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන විදුල් ඉංජිනියරින් ලිමිටඩ් සමාගම, ව්‍යාපාරික ස්ථානයක් සඳහා සිදු කළ වහල මත සූර්ය පැනල සවි කිරීමේ දෙවැනි ව්‍යාපෘතිය නිමා කළ බව ප්‍රකාශයට පත් කර සිටියි.

නුගේගොඩ පිහිටි ට්‍රෙන්ඩි කනෙක්ෂන්ස් (පෞද්) සමාගමෙහි කර්මාන්තශාලා පරිශ්‍රයෙහි වහලය මත මෙම සූර්ය පැනල පද්ධතිය සවි කර තිබේ. පසුගිය මාර්තු 27 වැනිදා මෙම ව්‍යාපෘතිය නිමා කර ඇති අතර, එහි සමස්ත ධාරිතාව කිලෝවොට් 240 ක් බවත් විදුල්ලංකා පීඑල්සී සමාගම පවසයි.

රුපියල් මිලියන 26ක ආයෝජනයකින් සිදු කළ මෙම ව්‍යාපෘතිය හරහා වාර්ෂිකව ගිගාවොට් පැය 0.33ක් නිපදවීමත් බලාපොරොත්තුව වී තිබේ.

1997 වසරේදී පිහිටවුණු විදුල්ලංකා පීඑල්සී සමාගම අද වන විට ජල, ජෛවස්කන්ධ සහ සූර්ය පැනල යන පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේද ඔස්සේ විදුලිය නිපදවීමේ ව්‍යාපෘති සිදු කරමින් සිටියි. එහිදී සමාගමේ සම්පූර්ණ විදුලි ධාරිතාව මෙගාවොට් 36.25කි. එම ව්‍යාපෘති හරහා සිදු කරන සමස්ත බලශක්ති සැපයුම ගිගාවොට් පැය 150.2 කි.

සමාගම යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති සංඛ්‍යාව 12කි. ඉන් ව්‍යාපෘති 10ක් ශ්‍රී ලංකාව තුළ සිදු කරමින් පවතින අතර, ව්‍යාපෘති දෙකක් උගන්ඩාව තුළ ක්‍රියාත්මක වෙයි.

Visits: 251