වරාය නගරයේ ‘විශේෂිත ආර්ථික කලාප’ පනත් කෙටුම්පත පිළිබඳ සම්මන්ත්‍රණය මැයි 4 දා

කොළඹ වරාය නගරය තුළ පිහිටුවන විශේෂිත ආර්ථික කලාපය පිළිබඳ ඉදිරිපත්ව තිබෙන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන සම්මන්ත්‍රණයක් ලබන මැයි 4 වැනිදා සවස 2.00 ට කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරී තිබේ.

ඒෂියන් පාත්ෆයින්ඩර් ලීගල් කන්සල්ටන්සි ඇන්ඩ් ඩ්‍රාෆ්ටින්ග් සර්විසස් සමාගම මගින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරයි.

මේ වන විට එම පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර, එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් එය ගැසට් නිවේදනයක් හරහා නීතිගත කිරිමටද නියමිතව ඇත.

මෙම අනුමැතිය හිමිවීමත් සමගින්ම කොළඹ වරාය නගරය වෙත ආයෝජක ආකර්ෂණය හිමි වනු ඇති බවත්, ඉන්දීය උපමහාද්වීපය තුළ සහ අග්නිදිග ආසියාව තුළ සුවිශේෂී ආර්ථික මධ්‍යස්ථානයක් බවටත් එය පත්වෙනු ඇති බවත් විශ්වාසය වී ඇත.

මෙම දළ පනත් කෙටුම්පත මගින් මෙම වරාය නගරයෙහි ආයෝජකයන්වෙත ලබා දෙන නීතිමය, බදුමය, රෙගුලාසිමය සහ අනෙකුත් සහන පිළීබඳවද සඳහන් කෙරී තිබේ.

මෙහිදී එම කටයුතු පවත්වාගෙන යාම සඳහා ඉහළ බලතල සහිත සාමාජිකයන් 5-7 දක්වා පිරිසකගෙන් සමන්විත කොළඹ වරාජය නගරයේ ආර්ථික කොමිසමක් පත් කිරීමටත් සැලසුම් කෙරී ඇත. එහිදී මෙම ආයෝජන සඳහා තනි කවුලුවක් ලෙස ක්‍රියාත්මක වෙමින් මෙම විශේෂිත ආර්ථික කලාපය සඳහා අවශ්‍ය වන ලියාපදිංචියක්, බලපත්‍රයක්, බලයදීමක් හෝ අනුමත කිරිමක් යනාදිය සඳහා පහසුකම් සලසන්නෙකු ලෙස ක්‍රියා කරයි.

සම්මන්ත්‍රණයේ සංවිධායකයන්ට අනුව මෙම සම්මන්ත්‍රණයේදී නව වරාය නගරය පිළිබඳව හඳුන්වාදීම සහ කොළඹ වරාය නගරයේ ඇති ආර්ථිකමය වාසි පිළිබඳව සඳහන් කරමින් CHEC Port City හි සහකාර කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ මහතා අදහස්දැක්වීමට නියමිතව ඇත.

එසේම මෙම අවස්ථාවේ සම්පත්දායකයන් ලෙස සහභාගි වන ආචාර්ය අසංග ගුණවංස මහතා, නව යෝජිත පනත් කෙටුම්පත සහ ශ්‍රී ලාංකීය ව්‍යාපාර කෙරෙහි වන එහි නීතිමය ඇඟවීම් පිළිබඳව අදහස් දක්වයි.

මීට අමතරව ආචාර්ය, ජනාධිපති නීතීඥ ඩී.සී. ජයසූරිය මහතා අදහස් දක්වමින්, විදේශ ආයෝජන ගනුදෙනු සහ එක් තීරයක් එක් මාවතක් මුලපිරීම හා නීතිමය බාධාවන් හි පවතින ගිවිසුම්ගත කාරණා පිළිබඳව අදහස් දැක්වීමට නියමිතව තිබේ.

මෙම සම්මන්ත්‍රණය මෙහෙයවීම එක්සත් රාජධානියේ සොලිසිටර්වරයෙකු වන නීතීඥ මලික් කාදර් විසින් සිදු කරනු ලබයි.

මෙම සම්මන්ත්‍රණය විදේශ ආයෝජකයන්, රාජතාන්ත්‍රික මෙහෙයුම්හි වාණිජ ප්‍රධානීන්, මෙරට ප්‍රධාන පෙළේ සමාගම්වල ප්‍රධානීන් සහ කළමනාකරුවන්, බැංකු, දේපළ වෙළෙඳ සමාගම්, ආනයනකරුවන්, අපනයනකරුවන්, මූල්‍ය සමාගම්, භාණ්ඩ හුවමාරු කරන්නන්,කොටස් තැරැව්කරුවන්, ගණකාධිකාරීවරුන්, නීතීඥයන්, මූල්‍ය වෙළෙඳ පොළ නියාමකයන් ඇතුළු පිරිස් වෙනුවෙන් සිදු කරන්නක් බවත් සංවිධායකයන් සඳහන් කරයි.

විශේෂයෙන්ම  මෙම සම්මන්ත්‍රණය හරහා අදාළ පනත් කෙටුම්පත තුළ පවතින අවස්ථාවන්, නීතිමය ඇඟවීම් සහ ගිවිසුම්ගත කාරණා පිළිබඳව පැහැදිලිතාවක් ලබා දෙන බවද ඔවුන් පවසයි.

Visits: 300