මහ බැංකුවෙන් ආයෝජකයන් සහ මහජනතාව වෙත නිවේදනයක්

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ රජය විසින් දේශීය බැංකු මගින් ලබා ගත් විදේශීය ව්‍යවහාරමුදලින් නාමනය කරන ලද ණය සඳහා ආපසු ගෙවිය යුතු මුදල් පියවීම් සැලසුම් සහගතව ප්‍රමාද කරන බවට එල්ල වන චෝදනා පදනම් විරහිත බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම කරුණ සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පුවත්පතක පළවූ කරුණකට පිළිතුරු ලබා දෙමින් මහ බැංකුව මේ බව සඳහන් කර තිබේ. ඒ අනුව මෙම පදනම් විරහිත සහ සාවද්‍ය පුවත්පත් වාර්තා පිළිනොගෙන බැහැර කරන ලෙසටද මහ බැංකුව ආයෝජකයින්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

“ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ රජය විසින් දේශීය බැංකු මගින් ලබා ගත් විදේශීය ව්‍යවහාර මුදලින් නාමනය කරන ලද ණය වෙනුවෙන් සිදු කළ යුතු ණය සේවාකරණ ගෙවීම්, පොළී සහ ණය වාරික මෙන්ම අනෙකුත් රජයේ ණය වගකීම් නියමිත පරිදි සිදු කරන බවට ආයෝජකයින් සහ පොදු මහජනතාව වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙසේ දැනුම් දෙනු ලැබේ.” එහි සඳහන් වෙයි.

විශේෂයෙන්ම එම පුවත්පතෙහි සඳහන් වූ පරිදි අදාළ ගෙවීම් පමා කිරීම හෝ කල්දැමීමසඳහා කිසිදු සැලසුමක් නොමැති බැවින්, එමපුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ පදනම් විරහිත අන්තර්ගතයකින් සමන්විත එකක් බවද මහ බැංකුව පවසයි.

“කල් පිරෙන ණය ගෙවීම පමා කිරීම තුළින් රජයේ නොකැලැල් ණය සේවාකරණ වාර්තාව විනාශ වී යාමට ඉඩදීමට රජයේ කිසිදු අදහසක් නොමැත. ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර සහ රජය විසින් දේශීය බැංකු මගින් ලබා ගත් විදේශීය ව්‍යවසාරඑ මුදලින් නාමය කරන ලද ණය සම්බන්ධයෙන් 2021 වසරේ මේ දක්වා කාලසීමාව තුළදී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,200කට ආසන්න ණය සේවාකරණ ගෙවීම් ප්‍රමාණයක් දැනටමත් සිදු කර ඇති අතර, ඉදිරියේදි සිදු කිරීමට නියමිත ණය සේවාකරණ වගකීම් සියල්ල කිසිදු පමාවකින් තොරව නිසි පරිදි සිදු කෙරෙනු ඇත.”මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 730