මෙරට වරාය සහ පර්යන්තයන්හි හිමිකරුවන්/කල්බදු හිමිකරුවන් කවුද?

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉදිකිරිම සහ බටහිර බහාලුම් පර්යන්තය ඉදිකිරීම සම්බන්ධයෙන් පසුගිය කාලසීමාවේදී මතුවුණු කතාබහත් සමගින්ම මෙරට පිහිටි වරාය සම්බන්ධයෙන් ජනතාව තුළ පෙර වඩා වැඩි අවධානයක් යොමු විය.

විශේෂයෙන්ම ඉදිකිරීම නියමිත මෙම පර්යන්තයන්හි හිමිකාරීත්වයන් බෙදීයන ආකාරය පිළිබඳව අදාළ සමාගම් මගින් ප්‍රසිද්ධියට පත් කිරීමත් සමගින්ම මෙරට පිහිටි අනෙකුත් වරායන්හි සහ වරාය පර්යන්තයන්හි හිමිකරුවන් කවුරුන්ද යන්නපිළිබඳව බොහෝ දෙනා විමසිලිමත් වන්නට විය.

පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණු මෙම කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය ඉදිකිරීම, පවත්වාගෙන යාම සහ ආපසු පැවරීම යන 35 අවුරුදු කල්බදු එකඟතාව අනුව එහි හිමිකාරීත්වය ඉන්දියාවේ අදානි සමාගම වෙත 51%ක්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත 15%ක් ලෙස බෙදී ගොස් තිබුණි. එසේම අදානි සමාගමේ දේශීය නියෝජිතයා ලෙස ක්‍රියාත්මක ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී වෙත හිමි කොටස් හිමිකම මෙතෙක් අනාවරණය වී නැත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පිහිටි මෙම වරායන්හි වර්තමාන හිමිකාරීත්වය සහ කල්බදු හිමිකම සම්බන්ධයෙන් සටහනක් ඉදිරිපත් කරන්නට ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය යටතේ ක්‍රියාත්මක publicfinance.lk වෙබ් අඩවිය පසුගියදා කටයුතු යොදා තිබුණි.

එම වෙබ් අඩවිය පවසන ආකාරයට 1999 වසර වන තෙක්ම ශ්‍රී ලංකාවේ සියලුම වරායන්හි සහ පර්යන්තයන්හි 100%ක හිමිකාරීත්වය පැවතී ඇත්තේ රජයට අයත් ව්‍යවසායක් වන ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙතයි. එහෙත් 1999 වසරෙන් පසුව මෙම තත්ත්වය වෙනස් වී තිබේ.

ඒ අනුව පළමු වතාවට ශ්‍රී ලංකා වරාය අධිකාරිය 1999 වසරේදී දකුණු ආසියා පිවිසුම් පර්යන්තය (SAGT – South Asia Gateway Terminal) හි මෙහෙයුම් සිදු කිරීම සඳහා වසර 30ක බදු කාලයකට රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් (PPP) වෙත අත්සන් තැබීම සිදු කර තිබේ.

මෙම එකඟතාවට අනුව එම පර්යන්තයේ හිමිකාරීත්වය බෙදී ගොස් ඇත්තේ මෙසේය. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමට 42%ක්, MAERSK/AP Moller සමාගම වෙත 33%ක්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත 15%ක් සහ එවර්ග්‍රීස් මැරීන් සමාගම/පිඔනි ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම වෙත 10%ක හිමිකාරීත්වයක් වශයෙනි.

ඉන් අනතුරුව ඒකාබද්ධ හවුල්කාරීත්වයක් යටතට පත්වන දෙවැනි පර්යන්තය වන්නේ කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයයි (CICT – Colombo International Container Terminal). මෙහිදී චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩිංග්ස් සමාගම, එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර ඇතිකරගත් වසර 35ක බදු කාලයක් සඳහා වලංගු ලෙස ඉදිකිරීම, මෙහෙයුම් සිදු කිරීම සහ පැවරීම යන එකඟතාව යටතේ එම ගිවිසුම අත්සන් තබා තිබේ.

2011 වසරේදී මෙම ඒකාබද්ධතාවට පිවිස ඇති අතර, එම අවස්ථාව වනවිට පර්යන්තයේ කොටස් හිමිකාරීත්වයෙන් 55%ක් චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගමටත්, 30%ක් එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගමටත් ඉතිරි 15% ශ්‍රී ලංකා වරාය අධිකාරියටත් යනාදී ලෙස බෙදී ගොස් තිබේ.

එසේම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මැදිහත්වීමෙන් ඉදි කෙරුණු හම්බන්තොට වරාය 2018 වසරේදී ඇති කරගත් ඒකාබද්ධ එකඟතාවකට අනුව චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩිංග්ස් සමාගම වෙත වසර 99කට බදු දීම සිදු විය. මෙම වරාය ඉදිකිරීම සඳහා එම සමාගම ඩොලර් මිලියන 1,120ක මුදලක් ආයෝජනය කළ බව පැවසෙයි.

එහිදී වරාය ඉදිකිරීමෙන් අනතුරුව එහි කොටස් හිමිකාරීත්වයෙන් 85%ක් අත්පත් කරගැනීම සඳහා චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩිංග්ස් සමාගම ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ඩොලර් මිලියන 974ක මුදලක් ගෙවීම සිදු විය. වරායේ ඉතිරි 15%ක හිමිකම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු විය.

මෙහිදි එම සමාගම හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG- Hambantota International Port Group) ලෙස නම් කෙරිණි. අනතුරුව HIPG මගින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා (HIPS – Hambantota International Port Services) සමාගමෙහි 58%ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගෙන තිබේ. එහි ඉතිරි 42% ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුය.

මෙහිදී අදාළ ගනුදෙනුවෙන් ඉතිරි වූ ඩොලර් මිලියන146ක් චයිනා මර්චන්ට් පෝර්ට් සමාගම මගින් ශ්‍රී ලංකාව තුළ සිය සමාගමේ නමින් ස්ථාපිත බැංකු ගිණුමක තැන්පත් කර තිබේ.

පසුව චයිනා මර්චන්ට් පෝර්ට් සමාගම මගින් HIPG හි තමන් සතුව තිබූ 20%ක කොටස් ප්‍රතිශතයක් චීනයේ ෆුජිආන් ට්‍රාන්ස්පොටේෂන් සමාගම වෙත අලෙවි කිරීම සිදු විය.

ඒ අනුව හම්බන්තොට වරායේ වර්තමාන හිමිකාරීත්වය බෙදී ගොස් ඇත්තේ චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩිංග්ස් සමාගමට 65%ක්, ෆුජිආන් ට්‍රාන්ස්පොටේෂන් සමාගමට 20%ක් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15%ක් වශයෙනි.

එසේම කොළඹ වරායේ පිහිටි යුනිටි බහාලුම් පර්යන්තයේ සහ ජයා බහාලුම් පර්යන්තයේ සහ ඉදිකිරීමට යෝජිත නැගෙනහිර පර්යන්තයේ 100%ක හිමිකාරීත්වය පවතින්නේ වරාය අධිකාරිය වෙතයි. මෙම වරායන්ට සහ පර්යන්තයන්ට අමතරව ශ්‍රී ලංකාවට අයත් ගාල්ල, ත්‍රිකුණාමලය සහ කංකසන්තුරේ යන වරායන්හි හිමිකාරීත්වය 100%ක්ම පවතින්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුවයි.

Visits: 280