සෙලාන් සහ සම්පත් බැංකු ණයකර නිකුතු අද සහ හෙට ඇරඹේ

කොළඹ කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගත බලපත්‍රලාභී වාණිජ බැංකු දෙකක්වන සෙලාන් බැංකුව සහ සම්පත් බැංකුව අද සහ හෙට යන දෙදින තුළදී සිය ණයකර කොටස් නිකුතූන් ආරම්භ කිරීමට සූදානමින් සිටින බව පවසයි.

ඒ අතරින් සෙලාන් බැංකුවේ ණයකර නිකුතුව අද දිනයේදීද, සම්පත් බැංකුවෙහි ණයකර නිකුතුව හෙට දිනයේදීද ආරම්භ වීමට නියමිතව තිබේ. මෙම ණයකර කොටස් නිකුතු දෙකෙහිම වටිනාකම පිළිවෙලින් රුපියල් බිලියන 6 ක් වීමද විශේෂත්වයකි.

මින් සෙලාන් බැංකුවේ ණයකර කොටස් නිකුතුව බාසෙල් III සම්මුතියට අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, නොසුරැකුණු, අප්‍රධාන, නිදහස්කරවා ගත හැකි ණයකර ලෙස සහ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ලෙස හුවමාරු කරවාගත හැකි ලෙස සිදු කිරීමට යෝජනා වී තිබේ.

මෙහිදී මූලික ණයකර නිකුතුව ලෙස එක් ණයකරයක් රුපියල් 100 බැගින් ණයකර මිලියන 50ක් නිකුත් කිරීම සිදු කරයි. ඒ හරහා රැස් කෙරෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 5කි. එසේම ඒ සඳහා ඉදිරිපත්වන අධි ඉල්ලුම අනුව තවත් ණයකර මිලියන 10ක් ඉදිරිපත් කරන බවත් ඒ හරහා තවත් රුපියල් බිලියන 1ක් රැස් කිරීමත් අරමුණ වී තිබේ. ඒ අනුව සමස්ත නිකුතුව හරහා රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 6 කි.

එසේම මෙම ණයකර කල්පිරීමේ කාලය වසර පහක් වන අතර, එය A සහ B ලෙස කාණ්ඩ දෙකකට බෙදා තිබේ. ඉන් A කාණ්ඩයේ ණයකර සතු වාර්ෂික පොලී අනුපාතය 9.75%කි. එහිදී පොළී ගෙවීම වාර්ෂිකව සිදු කෙරෙන අතර වාර්ෂික සඵල පොලී අනුපාතිකය 9.75% කි. B කාණ්ඩයේ ණයකර සතු වාර්ෂික පොලී අනුපාතිකය 9.25%ක් වන අතර එහිදී කාර්තුමය ලෙස පොලිය ගෙවීම සිදු වෙයි. එහි සඵල පොලී අනුපාතිකය 9.58% කි.

සෙලාන් බැංකුවෙහි මෙම ණයකර නිකුතුව ලබන අප්‍රේල් 27 වැනිදා දක්වා විවෘතව පවතී. මෙහිදී සුදුසුකම් ලබන ආයෝජකයෙකුට සිදු කළ හැකි අවම ආයෝජනය රුපියල් 10,0000 කි. (එනම් ණයකර කොටස් 100 කි)

සම්පත් බැංකුව මෙහිදී බාසෙල් III හා අනුකූල, – අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, නොසුරැකුණු, අප්‍රධාන, ආපසු නිදහස් කරගත හැකි, වසර 7 ක (2021-2028) ණයකර ලෙස මෙම ණයකර නිකුත් කෙරෙන බව සඳහන් කරයි.

මෙහිදී මූලික නිකුතුව යටතේ ණයකර කොටස් 50,000ක් නිකුත් කිරීම සැලසුම වී ඇත. එහිදී එක් ණයකරයක් රුපියල් 100 බැගින් මිල කෙරී ඇති අතර මෙම ණයකර නිකුතුවේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 5 ක් (5,000,000,000ක්) වෙයි.

යම් ලෙසකින් මෙම ණයකර කොටස් නිකුත් කිරීම සඳහා අධි ඉල්ලුමක් ඉදිරිපත් වුවහොත් තවත් අමතර ණයකර කොටස් 10,000,000ක් නිකුත් කිරීමටද බැංකුව සූදානමින් සිටියි. එම එක් ණයකර කොටසක්ද රුපියල් 100 බැගින් මිල කෙරී ඇති අතර, එම නිකුතුවේ සමස්ත වටිනාකම රුපියල් බිලියනයක් (1,000,000,000 ක්) වෙයි.

මෙම ණයකර නිකුතුව කල් පෙරෙන කාල සීමාව වසර 7ක් වන අතර ඒ සඳහා 9.0$ ස්ථාවර පොළී අනුපාතයක් ලබාදෙයි. ඒ අනුව වාර්ෂික පොළී අනුපාතික මෙන්ම වාර්ෂික සඵල පොලී අනුපාතිකයත් 9.0%ක මට්ටමේ පවතී. මෙම පොලී ගෙවීම් වාර්ෂිකව සිදු කෙරෙයි.

එසේම මෙම ණයකරනිකුතුව සඳහා සුදුසුකම් ලබන ආයෝජකයන් වෙත සිදු කළ හැකි අවම ආයෝජනය රුපියල් 10,000ක් වන බවත් සම්පත් බැංකුව සඳහන් කරයි. ඊට වඩාවැඩි ආයෝජන අවම ආයෝජනයේ ගුණාකාරවලින් ඉදිරිපත් විය යුතුය.

සම්පත් බැංකුවෙහි මෙම ණයකර නිකුතුව ලබන අප්‍රේල් 28 වැනිදා පස්වරු 4.30 දක්වා විවෘතව තැබෙන බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.

Visits: 331