INSEE වාර්ෂික ව්‍යාපාර හවුල්කරුවන්ගේ සම්මාන උළෙල උත්කර්ෂවත්ව පැවැත්වෙයි

පසුගියදා නිමාවට පත්වූ වාර්ෂික INSEE ව්‍යාපාර හවුල්කරුවන්ගේ සම්මාන උළෙලේදී, කොවිඩ්-19 වසංගතයේ දැඩි බලපෑමට ලක්වුණු 2020 වසර තුළදී, ඉහළ අලෙවි කාර්යසාධනයක් වාර්තා කළ තම ආයතනයේ ප්‍රාදේශීය හා ජාතික මට්ටමේ ව්‍යාපාර හවුල්කරුවන් ඇගයීමට INSEE සිමෙන්ති සමාගම පියවර ගත් බව පවසයි.

සියලු සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශවලට අනුකූලව සිනමන් ලොජ් හබරණ හෝටලයේදි පැවැති මෙම සම්මාන උළෙලට INSEE සිමෙන්ති සමාගමේ සභාපතිවරයා සහ විධායක කමිටු සාමාජිකයෝ ද එක්ව සිටියහ.

උත්සව සභාව අමතමින්, INSEEසිමෙන්ති සමාගමේ විධායක උප-සභාපති හා අධ්‍යක්ෂ -විකුණුම්, අලෙවි හා නවෝත්පාදන යාන් කුනික් මහතා, “2020 වසර තුළ එල්ල වූ අනපේක්ෂිත අභියෝග හමුවේ වුණත්, වෙළඳපොළ අවශ්‍යතා සඳහා පළමුව ඉදිරිපත් වුණු සමාගම INSEE සිමෙන්ති සමාගමයි. ඒ සඳහා අපගේ ව්‍යාපාර හවුල්කරුවන්ගෙන් ලැබුණු සහයෝගය හා දායකත්වය ඉතා විශාලයි. එම සහයෝගීතාව නිසා 2020 වසරේදී විශාල වර්ධනයක් අත්පත් කරගැනීමට වගේම, දේශීය ඉදිකිරීම් අමුද්‍රව්‍ය වෙළඳපොළ තුළ තවදුරටත් පෙරමුණ ගැනීමටත් අප සමාගමට හැකිවුණා. එම නිසා අපගේ ව්‍යාපාර හවුල්කරුවන්ගේ කැපවීමට ස්තූතිය පළ කරන අතරේදී, ඉදිරි කාලයේදීත් ඔවුන්ගේ ජයග්‍රහණ සැමරීමට අපි බලාපොරොත්තු වෙනවා“, යනුවෙන් ප්‍රකාශ කර තිබේ.

මේ අතර වසරේ හොඳම ව්‍යාපාර හවුල්කරුවා සඳහා වන සම්මානයෙන් පිළිමතලාවේ නිව් සෙන්ට්‍රල් හාඩ්වෙයාර්හි ළහිරු ඉඹුල්දෙණිය මහතා පිදුම් ලැබූ අතර, ඔහුට හිමි සම්මානය පිරිනැමීම සඳහා INSEE විධායක කමිටු සාමාජිකයෝ ද වේදිකාවට එක්ව තිබේ.

Visits: 46