ප්ලාස්ටික් හා පොලිතින් අපද්‍රව්‍ය කළමනාකරණයට ලංකා වාණිජ මණ්ඩලය මුලපුරයි

ලංකා වාණිජ මණ්ඩලය සහ ඇසුරුම් කර්මාන්තයේ පාර්ශවකරුවන් එක්ව ඉවතලන නම්‍යශීලී (ප්ලාස්ටික් හා පොලිතීන්) ඇසුරුම් අපද්‍රව්‍ය හේතුවෙන් එල්ල වී ඇති පාරිසරික ගැටලූවට විසඳුම් ලෙස නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම (EPR) පිළිබඳ වැඩසටහනක් පසුගියදා දියත් කරමින් ඒ වෙනුවෙන් වන විකල්ප විසඳුම් ඉදිරිපත් කිරීමට ද ඔවුන් කටයුතු කරන ලදී.

එහිදී ප්ලාස්ටික් හා පොලිතීන් ඇසුරුම් ද්‍රව්‍ය සම්පූර්ණයෙන් තහනම් කිරීම වෙනුවට නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම පුළුල් කිරීමට කටයුතු කිරීම තුළින් පාරිභෝගිකයන් වෙත නම්‍යශීලී ඇසුරුම්කරණ භාවිතයෙහි ප‍්‍රතිලාභ අඛණ්ඩව ලබා දීමට හැකි වන බව ඔවුන්ගේ විශ්වාසයයි.

COVID-19 වසංගත සමය තුළ ගෝලීය වශයෙන් ඇති වූ ආහාර හා ආහාර නොවන නිෂ්පාදනයන් සඳහා වූ ඉල්ලූම ඉහළ යාම හේතුවෙන් ප්ලාස්ටික් හා පොලිතින් ඇසුරුම්කරණ කර්මාන්තය තුළද සීඝ‍්‍ර වර්ධනයක් දක්නට ලැබුණි. ඒ හේතුවෙන් මෙරට ආර්ථිකය තුළ කුඩා හා පහසු ඇසුරුම් දවටන තවදුරටත් තබා ගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන ඇති ලංකා වාණිජ මණ්ඩලය ඇසුරුම් සැපයුම්කරුවන්, නිෂ්පාදකයන් (ආහාර හා ආහාර නොවන) සහ අලෙවිකරුවන් ඇතුළු කර්මාන්තයේ විවිධ පාර්ශවකරුවන් සමඟ එක්ව අදාළ ඇසුරුම් හේතුවෙන් උද්ගතව ඇති පාරිසරික ගැටලූ අවම කිරීම සඳහා මෙම නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම පුළුල් කිරීමේ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ගෝලීය වශයෙන් ක‍්‍රියාත්මක කරනු ලබන ඇසුරුම් සංකල්පයක් වන නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම (EPR) තුළින් අපද්‍රව්‍ය එකතු කිරීම, සැකසීම හා ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ සියලූ වගකීම් අදාළ නිෂ්පාදකයන් (සන්නාම හිමිකරුවන්, ඇසුරුම් සැපයුම්කරුවන් සහ අලෙවිකරුවන්) විසින් භාර ගනු ලබයි.

ශ‍්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගෙන් 50%ක් පමණ පිරිසක් කුඩා ඇසුරුම්වලින් යුත් පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන මිලදී ගැනීමට වැඩි උනන්දුවක් දක්වන බව කර්මාන්ත දත්තයන්ට අනුව පෙනී යන කරුණකි. විශේෂයෙන් මාසිකව රුපියල් 25,000කට වඩා අඩු ආදායමක් සහිත පවුල්, දෛනික වැටුප් මත යැපෙන පවුල් මෙන්ම නේවාසිකාගාර සහ නවාතැන්වල ජීවත් වන පුද්ගලයන් මේ වෙත බහුලව යොමුව ඇති බව දක්නට හැකිය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා වාණිජ මණ්ඩලයේ මහ ලේකම් සහ ප‍්‍රධාන විධායක නිලධාරී මංජුල ද සිල්වා මහතා සඳහන් කර සිටියේ  ‘‘විවිධ සමාජ ආර්ථික තත්වයන් යටතේ ජීවත් වන පුද්ගලයන්ට මිලදී ගත හැකි අයුරින් හඳුන්වා දී තිබෙන කුඩා හා පහසු ඇසුරුම් ඔවුන්ට ගුණාත්මක නිෂ්පාදන භාවිතයට අවස්ථාවක් සලසා දී තිබෙනවා. ඒනිසාම නම්‍යශීලි ඇසුරුම් සම්පූර්ණයෙන් තහනම් කිරීම වෙනුවට එම ඇසුරුම් නිසා සිදු වන ගැටලූකාරී තත්වයන් අවම කිරීම සඳහා වන තිරසාර විකල්ප ක‍්‍රියාත්මක කිරීම වඩාත් වැදගත් වන බව අපගේ විශ්වාසයයි.’’ යනුවෙනි.

ඔවුන් විසින් දැනට යෝජනා කර ඇති EPR වැඩසටහන තුළින් නම්‍යශීලී ඇසුරුම්කරණ ද්‍රව්‍ය භාවිතය අවම කරමින් ඒවා ප‍්‍රතිචක‍්‍රීයකරණය ඉහළ නැංවීමට සැලසුම් කර ඇත. එහිදී භාවිතා කරන ලද ඇසුරුම් එකතු කිරීම සඳහා බෙදාහැරීම් සැපයුම් පද්ධති භාවිත කිරීම වැනි ක‍්‍රමෝපායන් තුළින් මෙම නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීමේ යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කිරීමට ඔවුන්ගේ අවධානය යොමුව ඇති අතර ඇල මාර්ග හා ගංගාවලට එකතු වන අපද්‍රව්‍ය එකතු කර ගැනීම සඳහා වන උපකරණ ස්ථාපිත කිරීමට ද අපේක්ෂිතය.

තවද මෙම වැඩසටහන සම්බන්ධයෙන් පාරිභෝගිකයන් දැනුවත් කිරීම සඳහා ප‍්‍රධාන වශයෙන් සමාජ මාධ්‍ය භාවිත කිරීමට ද අපේක්ෂා කරන ඔවුන් නම්‍යශීලී ඇසුරුම් ප‍්‍රතිචක‍්‍රීයකරණ හැකියාවන් ඉහළ නැංවීමට මෙන්ම ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ නොහැකි අපද්‍රව්‍ය වෙන් කිරීමටත්, අපද්‍රව්‍ය භාවිතයෙන් බලශක්ති උත්පාදනය ඉහළ නැංවීම වෙනුවෙන් නගර සභා හා මහ නගර සභාවලට තම සහාය ලබා දීමටත් කටයුතු කරමින් සිටියි.

මෙම වසරේදී නම්‍යශීලී ඇසුරුම් අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන තුළින් 2021 වසරේ වෙළෙඳපොලට නිකුත් කරන ලද නම්‍යශීලී ඇසුරුම් අපද්‍රව්‍යවලින් අවම වශයෙන් 25%ක ප‍්‍රමාණයක් එකතු කර ගැනීමට ද අපේක්ෂිතය. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ක‍්‍රමයෙන් 100%ක් දක්වා එකතු කිරීමේ ක‍්‍රමවේදයක් ලෙස මෙය ඉහළ නැංවීමයි.

නම්‍යශීලී ඇසුරුම් සම්බන්ධයෙන් වැඩි වටිනාකමක් ඇති කිරීම මෙන්ම නම්‍යශීලී ඇසුරුම් කළමනාකරණය සඳහා ආයතනීකකරණය කරන ලද නිෂ්පාදන වගකීම් සංවිධානයක් ලෙස ‘තිරසාර ඇසුරුම් සඳහා වන එකමුතුව’ ඉහළ නැංවීම ද මෙ වැඩසටහනෙහි ප‍්‍රමුඛ අරමුණක් ලෙස සඳහන් කළ හැකිය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ මංජුල ද සිල්වා මහතා ‘‘මෙම වැඩපිළිවෙල හරහා අක‍්‍රමවත් ලෙස පරිසරයට අපද්‍රව්‍ය බැහැර කිරීම හා ඉවත දමන ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් පරිසරයට ඇති විය හැකි ගැටලූකාරී තත්වයන්ට විසඳුමක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. අප විසින් ඉදිරිපත් කරනු ලබන වැඩපිළිවෙලෙහි අරමුණ වන්නේ වෙළෙඳපොලේ භාවිතා කරනු ලබන ඇසුරුම් නිසි පරිදි ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමෙහි වගකීම කර්මාන්තය වෙත ලබා දීම තුළින් ඉවත දමනු ලබන එම ඇසුරුම් එකතු කිරීම හා ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ ප‍්‍රමාණය ඉහළ නැංවීමයි. ඒ තුළින් පාරිභෝගිකයින්ට මිලදී ගත හැකි නිෂ්පාදන ඇසුරුම් අඛණ්ඩව වෙළෙඳපොල තුළ පවත්වා ගැනීමට හැකි වන අතර අපද්‍රව්‍ය හරහා තවත් වටිනාකමක් ඇති කළ හැකි බව අප විශ්වාස කරනවා’’ යනුවෙන් පැවසුවේය.

Visits: 41