Volkswagen නම Voltswagen ලෙස වෙනස් කිරීමේ පුවත විහිලුවක්ලු

ජර්මනියේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන Volkswagen හි ඇමෙරිකානු නිෂ්පාදන සමාගම සිය සන්නාමය Voltswagen ලෙස වෙනස් කිරිමට තීරණය කර ඇතැයි පසුගියදා පළ වූ පුවත අප්‍රේල් 01 වැනිදා ඉලක්ක කරගනිමින් සිදුකළ විහිලුවක් බව එම සමාගම පවසයි.

පසුගියදා සිය සමාජ මාධ්‍ය පිටු හරහා නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ Volkswagen සමාගම ඉදිරියේදී එහි නම Voltswagen of America ලෙස වෙනස් කෙරෙන බවත්, අනාගතයේදී සිය සමාගම ආයෝජනයට සැලසුම් කර තිබෙන විදුලි මෝටර් රථ පිළිබිඹු වන ආකාරයට එම වෙනස සිදු කරන බවත් සඳහන් කර තිබුණි.

මෙම නිවේදනය ලෝකයේ ප්‍රධාන ධාරාවේ පුවත් සමාගම් රැසකම ප්‍රමුඛතම පුවතක් බවට පත්ව තිබූ අතර, ලොව පුරා කාගේත් අවධානය ඊට යොමු විය.

එහෙත් Volkswagen සමාගමේ ප්‍රකාශක මාර්ක් ගිලිස් ඊමේල් පණිවුඩයක් හරහා මෙම Voltswagen සන්නාම වෙනස හුදෙක් විහිලුවක් බව පවසා තිබේ. ඒ අනුව මෙය අප්‍රේල් 01 වැනිදා මෝඩයන්ගේ දිනය වෙනුවෙන් සිදු කළ විහිලුසහගත නිවේදනයක් බවත් ඔහු සඳහන් කර ඇත.

කෙසේ වෙතත් Volkswagen සමාගම සිය සමාජ මාධ්‍ය ගිණුම්වල නම පවා Voltswagen ලෙස වෙනස් කරමින් මෙම නිවේදනය නිකුත් කර තිබූ අතර, ඉන් එක් නිවේදනයක මෙලෙස සටහන් ව තිබුණි.

“අපි දන්නවා, අවුරුදු 66ක් කියන්නේ අපේ නම වෙනස් කරන්න පුළුවන් අවුරුද්දක් නෙමෙයි. ඒත් අපි හැමදාමත් හදවතින් තරුණයි. ඒ නිසා තමයි අපි Voltswagen හඳුන්වාදෙන්නේ. එය Volkswagen හා සමානයි. එහෙත් විදුලියෙන් ක්‍රියාත්මක මෝටර් රථ වෙත නව අවධානයක් යොමු කරමින් අප මෙය සිදු කරනවා. අපගේ අලුත්ම විදුලියෙන් පමණක් ක්‍රියාත්මක SUV එථය වන ID.4 අද සිට ඔබට මිලදී ගත හැකියි.”

ඒ අනුව මෙම සන්නාම වෙනසේ සැබෑව හෝ බොරුව හෝ විහිලුව පිළිබඳව දන්නේ Volkswagen ඇමෙරිකා සමාගමේ ප්‍රධානීන් පමණක්ම බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Visits: 59